web counter
Loading...

හිස්හොරි කියා පොතුකබර රෝගයට රැවටෙන්න එපා දැන්ම දැනුවත් වෙන්න

Loading...

මිනිස් සිරුරේ විශාලතම ඉන්ද්‍රියය වන්නේ සමයි. සිරුරේ අභ්‍යන්තර සියලුම ඉන්ද්‍රියන් රැකගන්නා පවුරු වළල්ලක් සේ සම ක්‍රියා කරන අතර සම චර්මය සහ අපිචර්මය යන කොටස් දෙකකින් යුක්ත වේ.

ඇතැමකුට සමේ යම් යම් ආසාදන, සමේ රෝග ආදිය ඇතිවන අතර සමේ ආසාදනවලට බැක්ටීරියා, දිලීර, පුස් යනාදිය හේතු වේ. ඊට අමතරව සමේ රෝග කාණ්ඩයට ඇතුළත් නොවන අතර ආසාදන හා සමානව අනිවාර්යෙන් සමේ රෝග සඳහා ද ප්‍රතිකාර ලබාගත යුතු වේ.

සමේ රෝග ගණනාවක් ඇති නමුදු අද අපි කතාබහට ලක් කරන්නේ පොතුකබර හෙවත් සොරයිසීස් නැමැති සමේ රෝගය පිළිබඳවය.

පළමුවෙන් පැවසිය යුත්තේ “පොතුකබර” එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ නොවන බවයි.

යම් පුද්ගලයකුට සිය තරුණ අවධිය තුළ පොතුකබර රෝගය ඇති වී තිබේ නම් එය බොහෝවිට ජානමය තත්ත්වයක් මත ඇති වූවක් විය හැක. නමුත් වැඩිහිටි හා වයස්ගත අයට රෝගය ඇති වීමට බලපාන සාධක අතර සමහර ඖෂධ වර්ග නොකඩවා ගැනීම හේතු වේ. බොහෝවිට දක්නට ලැබෙන්නේ කිසිම හේතුªවක් නොමැතිව ඇතිවන සොරයිසිස් තත්ත්වයයි.

පොතුකබර රෝගයේ සාමාන්‍ය ලක්ෂණය වන්නේ මතුපිට සම පොතු ආකාරයට ගැලවී යෑමයි. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ නිපදවන සෛල විභාජනයට ලක් වී දින 30 ක පමණ කාලයකට පසු සිරුරෙන් ඉවත් වීම සාමාන්‍ය සන්සිද්ධියකි. නමුත් පොතුකබර රෝගීන්ගේ මේ කාර්යය සිදුවන්නේ දින 2,3 කින් වීම නිසා සම මතුපිට කුඩු හැලෙන පොතු ගැලවෙන පැල්ලම් වශයෙන් මැරුණු සෛල ඉවත් වීම සිදු වේ.

විශේෂයෙන් පොතුකබර රෝගීන්ට යම්කිසි මානසික ආතතියක් හෝ වෙනයම් රෝගී තත්ත්වයක් පැවතුණ විට (උණ ඩෙංගු හෝ වෙනත් රෝග) පොතුකබර තත්ත්වය උත්සන්න වීමක් දක්නට ලැබේ. තවද මෙය වැළඳීමේ ප්‍රවණතාවය තිබෙන අයට පළමුවරට හෝ වැළඳීමට තිබෙන ඉඩකඩ වෙනත් රෝග වැළඳීම නිසාද ශල්‍යකර්මවලින් පසුවද ඇතිවිය හැක.

හිස්හොරි යැයි රැවටීම

බොහෝවිට පොතුකබර ආරම්භ වන්නේ හිසෙහිය. ආරම්භක අවධිූයේ හිසෙන් කුඩු හැලීමක් සිදුවීමේදී ඇතැමුන් සිතන්නේ මේ හිස්හොරි බවයි. නමුත් මෙය හිස්හොරිද, පොතුකබරදැයි වෙන් වශයෙන් හඳුනාගැනීම අපහසුවන්නේ 80% පමණ දෙනෙකුට පොතුකබර ආරම්භය පටන්ගන්නේ හිසෙහි පමණක් වීම නිසාය.

හිස්හොරිද? පොතුකබර ද හඳුනාගන්නා අන්දම

පොතුකබර රෝගයේදී හිසෙන් ගැලවෙන පොතු ඉතා තද බවින් යුක්ත වේ.

1. අපගේ හිසකෙස් සීමාවෙන් (hair line) නලලට, කන්වලට පිටුපස පැල්ලම් ආකාරයටද තද ඝන පොතු වශයෙන් ද පෙන්නුම් කරයි. හිස්හොරි මතුවන්නේ සියුම් කුඩු වශයෙනි. ආරම්භක අවදියේදී හිස්කබලෙන් මතුවන සමේ රෝග තත්ත්වයක් ලෙස මෙය පෙන්නුම් කෙරේ. විශේෂයෙන් පැවසිය යුත්තේ හිස්හොරි ඉතා සියුම් කුඩු වශයෙන් ඉවත් වන අතර පොතුකබර ඝන පොතු ලෙස ඉවත් වන බවයි.

Chronic plaque psoriasis (සොරයිසිස්)

සමහර අයගේ වැලමිට, දණහිස, පිට කොන්ද ආශි‍්‍රතව පැල්ලම් සහිතව පොතු මෙන් ගැලවී යනු දක්නට ලැබේ. මෙය හඳුන්වන්නේ Chronic plaque සොරයිසිස් ලෙසය.

Flexural psoriasis (සොරයිසිස්)

ඉකිළි වල පියයුරු යට, කිහිලිවල වැනි සම්පූර්ණයෙන් නොපෙනෙන ස්ථානවල පොතුකබර ඇතිවිය හැක. නමුත් දිලීර ආසාදනයක් ලෙස මෙය බොහෝ අය හඳුන්වා ප්‍රතිකාර කළ ද එම ප්‍රතිකාරවලින් සුව වන්නේ නැත. එබැවින් මේ පොතුකබර තත්ත්වයෙන් සුව වීමට සමේ රෝග පිළිබඳ වෛද්‍යවරයකු මුණගැසී නිසි ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වේ.

නියපොතු නරක් වීම

සමහර රෝගීන්ගේ නියපොතුවල හිල් වශයෙන් ආරම්භ වන මෙම රෝගය පසුව නියපොතු අවපැහැගෙන ගෙන, නිය බඩ වෙන්වී පොතු වශයෙන් හැලීමට පටන්ගෙන නියපොතු නරක් වීම සිදු වේ. මෙවැනි අවස්ථාවලදි විශාල සන්ධි මත (කොන්ද, දණහිස්, වැලමිට, විලුඹ ආශි‍්‍රත සන්ධි ඉදිමීම මෙන්ම ඇඟිලි ආශි‍්‍රත සන්ධි ඉදිමීම වැනි ආතරයිටීස් ලක්ෂණ ද මතු කෙරේ.

සිරුර පුරා පැතිරෙන Exfoliative Dermatitis

මුළු සිරුර පුරා 95% ක්ම සමේ රෝගයක් ලෙස පැතිරීමක් පෙන්නුම් කෙරෙන මෙය ද පොතුකබර වර්ගයකට අයත් රෝගී තත්ත්වයකි. ඉක්මන් ප්‍රතිකාර වෙත යොමුවිය යුතු මෙම රෝගී තත්ත්වය ප්‍රතිකාර නොකිරීමෙන් ජීවිත අවදානමක් පවා ඇතිවිය හැක.

Pustular psoriasis (සොරයිසිස්)

ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු මෙම පොතුකබර තත්ත්වයේ ලක්ෂණ වන්නේ සැරව ගෙඩි සිරුරේ තැනින් තැන ඇතිවීමයි. මෙය බෝ නොවන ආතර බැක්ටීරියා ආසාදනයක් යැයි බොහෝදෙනා සැක කළ ද මෙය බැක්ටීරියා ආසාදනයක් නොව පොතුකබර වර්ගයකි. මේ තත්ත්වයේ සිටින පොතුකබර රෝගීන් වහාම සමේ රෝග පිළිබඳ වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වන්නේ මෙය ජීවිතයට පවා අවදානම් ඇතිවිය හැකි රෝගයක් බැවිණි. සාමාන්‍යයෙන් පොතුකබර තත්ත්වයේදී කැසීම රෝග ලක්ෂණයක් නොවුණ ද වර්තමානයේදී මෙම පැල්ලම් කසන බවට රොගීන් පවසා ඇත. එබැවින් ඒ පිළිබඳව සැලකිල්ලට ගත යුතුය.

විශේෂයෙන් පොතුකබර රෝගීන් මත්පැන් පානයෙන් 100% වැළකිය යුතු වේ. එසේ නොවුණහොත් අක්මාව අකර්මන්‍ය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පොතුකබර සඳහා ලබාදෙන ඖෂධවල ක්‍රියාකාරීත්වය ඇන සිටීම සිදුවන බැවින් රෝගියා අකාලයේ මිය යෑමට ද ඉඩ ඇත. එසේම ප්‍රතිකාර වෙත යොමු නොවුණහොත් පොතුකබර රෝගීන්ගේ අක්මාව ඉක්මනින් අකර්මන්‍යවීමට ඉඩ ඇත.

ප්‍රතිකාර

පළමුවෙන්ම පැවසිය යුත්තේ පොතුකබර රෝගය හොඳින් පාලනය කරගත හැකි රෝගයක් බවය. ඇතැම් අයට එක් වතාවක් පමණක් පොතුකබර ඇති වී ඒ සඳහා ප්‍රතිකාර ගත් විට නැවත වතාවක් හට නොගෙන පළමුවැනි වතාවෙන්ම සුව වේ. ඒ සඳහා අනවශ්‍ය ලෙස කලබල වී මානසික ආතතිය ඇතිකර ගැනීම නිසා රෝගය වර්ධනය වීමක් සිදුවන බැවින් සාමාන්‍ය රෝගයක් ලෙස සලකා මෙයට මුහුණ දීම ප්‍රතිකාර ගැනීම වැදගත් වේ.

ඇතැමුන්ට ප්‍රථම වරට සම්පූර්ණ සුවය ලැබී වසර ගණනාවකට පසු නැවත රෝගය මතුවීමට ඉඩ ඇත. ඒ සඳහා ද ප්‍රතිකාර තිබෙන අතර විශේෂයෙන් ප්‍රථම අදියරේදී ආලේපන ප්‍රතිකාර මඟින් පමණක් රෝගියාට සුවය ලබාගත හැක. රෝගී තත්ත්වය නිතරම පැවතීම සහ වැඩිපුර පැල්ලම් සහ කුඩු හැලීම ඇති වුවහොත් ආලේපන ප්‍රතිකාරවලට අමතරව ඖෂධ ප්‍රතිකාර (බීමට සහ එන්නත්ගත කිරීම) සිදු කෙරේ ඉන් ඔබ්බට පාරජම්බුල කිරණ මඟින් උඍඕ/උඍඒ ප්‍රතිකාර කරන අතර රෝහල්වල තිබෙන සමේ රෝග සායනවලද පාරජම්බුල කිරණ ප්‍රතිකාර යන්ත්‍ර මඟින් මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කෙරේ.

ඇතැම් රෝගීන්ට ඉහත සඳහන් කළ ආකාරයේ පොතුකබර රෝග වර්ග කිහිපයක්ම තිබේ නම් රෝහල් ගත වී ප්‍රතිකාර ගැනීම අතිශයින් වැදගත් වේ. විවිධ පොතු කබර වර්ගවලට විවිධ ප්‍රතිකාර ක්‍රම සිදු කරන බැවින් මේ සියල්ලක් විශේෂඥ වෛද්‍ය අධීක්ෂණයෙන් සිදු කළ යුතුව ඇත.

විශේෂයෙන් පොතුකබර රෝගී තත්ත්වයන් සඳහා විවිධ වූ ප්‍රමිතියෙන් තොර බටහිර නොවන විවිධ වර්ගයේ ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුය. මෙවැනි රෝගීන් ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගෙන වකුගඩු, අක්මාව අකර්මන්‍ය වී අවසානයේදී රජයේ රෝහල් වෙත පැමිණෙන විට රෝගියාගේ ජීවිතයට පවා සමුදෙන්නට සිදුවන අවස්ථා බොහෝය.

දීප්ති ෆොන්සේකා

Loading...