web counter
Loading...

සුදු කබර කලින්ම වලක්වා ගන්න පුළුවන් මේ දේ හැමෝම දැනගෙන ඉන්න

Loading...

ආහාරමය විහරණ, චිකිත්සා යන කරුණු මනාව පවත්වා ගෙන නොහෑම හේතුවෙන් නොයෙකුත් කුෂ්ඨ රෝගවලට මුහුණදීමට සිදුවන අවස්ථා එමටයි. ඒ අතරෙන් සුදු කබර රෝග හෙවත් ශ්විත්‍ර රෝගය ප්‍රධාන කොට සැලකිය හැකිය.

සුදු කබර රෝගය ක්ෂුද්‍ර කුෂ්ඨ ගණයට අයත් වේ. ශරීරයේ සුදු පැහැති ලප ඇතිවීම මෙහි මූලික ලක්ෂණයයි. මෙය පැහැදිලිවම සමේ වර්ණ විපර්යාසයකට භාජනය වීමක් වේ. සමේ වර්ණ ඇති කරවන මෙලනින් සෛල තුළ සිදුවන ජීව ක්‍රියාවලියට අවශ්‍ය වර්ණ පදාර්ථ නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඒ ස්ථානයන්හී සුදු කබර මතු වීමට පටන් ගනී. මතුපිට සමේ ස්වභාවික වර්ණ ක්‍රමයෙන් විකෘති බවට පත්වීමක් මෙම රෝගයේ දී සිදු වේ.

මෙහි තවත් ලක්ෂණයක් වනුයේ හටගත් ස්ථානයෙහි සම මතුපිට මැලවී ගිය ස්වභාවයක් දක්නට ලැබීමයි. එම රෝම කූපයන්හී පවා වෙනස්කම් දක්නට ලැබේ. පැසී ගිය රෝම (සුදු පැහැ ගැන්වී ඇති) එම ස්ථානයන් හී දක්නට ලැබිය හැකි වීම මෙහිදී විශේෂ සිද්දියකි. සම මත පවතින මේ වර්ණ පදාර්ථ අඩු වන විට ඒ බව පැහැදිලිවම සුදු පාටින් දක්නට ලැබේ.

සුදුස කබර ආශ්‍රිතව බාහිරින් බෝවීමක් දක්නට නොමැත. නමුත් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ජාන මගින් බෝවීමක් සිදුවිය හැකිය. මෙලෙස පාරම්පරිකව ඇති වීමට මවුපියන්ගෙන් දරුවන්ට නැතහොත් පවුලේ වැඩිහිටි ඥාතියකුට රෝගය ඇත්නම් ඉන් බාල පරපුරට පසු කාලයකදී රෝගය මතුවීමේ ප්‍රවනතාවයක් පවතී. ඒ කෙසේ වෙතත් මේ රෝගය මවුපියන්ට සෑදුනු පමණින්ම දරුවන්ටත් වැළදේ යන අස්ථාන බියක් ඇතිකර ගත යුතු නැත.

අපේ රටේ ගම්බද ජනතාව අතර පවතින මතයන් වන්නේ මීයකු විසින් සපා කනු ලැබීම නිසා සිදු කබර සෑදෙන බවයි. නමුත් මීයන් විසින් සපා කන ලද සියලු දෙනාටම මෙම රෝගය නොසෑදෙන බවද සදහන් කළ යුතුය.

රත්රන් වැනි ලෝහ වර්ගයකින් පිලිස්සීමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිති. එම පිලිස්සීම නිසා සමේ වර්ණක සෛල විනාශ වීම හේතුවෙන් සම සුදු පැහැවීමක් සිදු වන බව සිතිය හැකිවේ. මීයන්ගේ ශුක්‍ර තැවරීම නිසා ඇතිවන ආසාදනයෙන් සම සුදු වන අවස්ථාද දක්නට ලැබේ. මේ හැරෙන විට කබර විෂ, සර්ප විෂ ආදිය හේතුවෙන් ද සුදු කබර ඇති වේ.

නාග. පොළොං වැනි උග්‍ර විෂ සහිත සර්පයන් විසින් දෂ්ට කළ පසු එකී විෂ හේතුවෙන් ද්විතීයික වශයෙන් රෝගය ඇති වන අවස්ථා ඇත. ඇතැම් අවස්ථාවල සර්පයෙක් දෂ්ට කිරීමෙන් අනතුරැව නිසි ප්‍රතිකාර නොලැබුණහොත් සමේ රෝග සෑදීමට බොහෝ සෙයින් ඉඩ ඇත. සර්පයන් විසින් දෂ්ට කරනු ලැබූ විට යොදනු ලබන සමහර බෙහෙත් වර්ග නිසා ශරීරයේ වර්ණක පදාර්ථ විනාශ වී යෑමද සිදුවිය හැකිය. මීට අමතරව විවිධ ආකාරයේ රසායනික ද්‍රව්‍ය ස්පර්ශ වීම නිසාත් ඡායාරූප ශාලාවල සේවය කරන්නන් එම ඡායාරූප පිටපත් සේදීමේ ක්‍රියාවලියේදී රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය ඔවුන්ගේ අත්වල තැවරීම හේතුවෙන්ද සම සුදු වූ අවස්තා දක්නට ලැබී ඇත. රබර් ආශ්‍රිත කර්මාන්තවලට අදාළ රසායනික ද්‍රව්‍ය හා ඇසිඩ් වර්ග නිතර ස්පර්ශ කරන අයගේ ශරීරයේ සුදු කබර ඇති වන බව පෙනී ගොස් ඇත.

තවත් අවස්ථාවක රබර් මිශ්‍රිත පාවහන් පැලදීම නිසාද සම සුදු වන අවස්ථා දක්නට ලැබේ. තවත නොයෙකුත් සමේ රෝග වලට බාහිරින් භාවිත කරනු ලබන රසායනික ආලේප වර්ගද මෙම රෝග තත්ත්වය ඇතිවීමට හේතුවේ. උදාහරණයක් ලෙස අළුහම්, චර්ම කී, (ඉන්නන්) ආදී රෝග අවස්ථා පෙන්වා දිය හැකිය.
මෙම ආලේපන යෙදීමෙන් අළුහමු සුව වුවද පසු කලෙක එම ස්තානයෙහි සම සුදු පැහැවීම දක්නට ලැබිය හැකි වේ.

එම නිසා සමේ රෝගයන්ට ප්‍රතිකාර ගැනීමට පෙර ඔබ විසින් වගකිවයුතු වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගත යුතවේ. ශරීරයේ සුදු කබර රෝගය හට ගන්නා විශේෂ ස්ථානයක් නැත. නමුත් සමහර අවස්ථාවලදී මෙම රෝගය ශරීරයේ එක් අංශයකට පමණක් සීමා වන බව කිව හැකිය. වැඩි වශයෙන් මුහුණ, දෙඅත්ල, දෙපාවල, දණ හිසින් පහළ කොටස, පිට, පපුව, දෙතොල, කන් පෙති අවට හා හිසේ මෙම රෝග තත්ත්වය දක්නට ලැබේ.

මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු කරැණක් වනුයේ මෙම රෝගීන් හට අගුණ ආහාර වට්ටෝරුවක් පවතින බවයි. එනම් බල මාළු, කෙලවල්ලා ඇටවල්ලා, කකුළුවෝ, දැල්ලෝ, හරක් මස්, මුව මස්, ගෝන මස්, අච්චාරු. අඹ, විනාකිරි, තක්කාලි, අන්නාසි වැනි උෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකිය යුතු වේ.

තවද මෙම රෝගයට සුදුසු ආහාර වශයෙන් කොළ කැද. තම්පලා, ගොටුකොළ, සාරණ, මුගුණුවැන්න, කොහිල දලු හා අළු කෙසෙල් මුහ, අළු කෙසෙල්, පිපිඤ්ඤා, කැකිරි ආදියද කිරිඅගුණ, කතුරුමුරුංගා, ජපන් බටු කොළ, මුරුංගා කොළ ආදී මැල්ලුම් වර්ගද මීට විශේෂයෙන් ගුණදායක වේ. ගැඹුරු තෙලෙහි බැදගත් ආහාර කිසිවක් අනුභව නොකළ යුතුවේ.

උපුටා ගැනීම | මව්බිම පුවත්පත

Loading...