web counter
Loading...

සිහින කියන පලාපල

Loading...

මිනිසා විසින් සිතෙහි මවා ගන්නා සිහින කිසි දිනෙක සැබෑ නොවූවද රාත්‍රි කාලයේදී දකිනු ලබන සිහින බොහෝ විට සපල වෙයි. සිහින හෙවත් ස්‌වප්න ආශ්‍රයෙන් ඒවා විමසා බලා පලාපල කීම ආරම්භ වූයේ අදක ඊයේක පටන් නොව වෛදික යුගයටත් පෙර පැවති උපනිෂද් අවධියේදී පටන්ය.

බෞද්ධ සාහිත්‍ය දෙස බලන විට සිහින ඇසුරෙන් පලාපල කීම බුද්ධ කාලයේදී ද පැවති ක්‍රමවේදයකි. සිදුහත් කුමරු මහාමායා දේවියගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිද්ධිය ද බමුණන් විසින් පහදා දෙන ලද්දේ මහමායා දේවිය දුටු සුදු නෙළුම් මලක්‌ හොඬෙන් ගත් සුදු ඇත් පැටවකු දේවියගේ දකුණු ඇලයෙන් කුස තුළට රිංගා ගැනීමේ සිහිනයට අනුවය. වෛද්‍ය විද්‍යාවට අනුව සිහින දැකීම උඩු සිත හා යටි සිත අතර සිදුවන ක්‍රියාවලියකි. සිහින පෙනීම කෙසේ සිදු වුවත් සැබෑ වන සිහින දැකීමට යම් යම් සංසිද්ධීන් ජ්‍යෝතිෂයට අනුව ඉතාම වැදගත් වේ.

සීත කාලවලදී දකින සිහිනද, දවල් කාලයේදී දකින සිහිනද ජ්‍යෝතිෂයට අනුව කිසිදාක සපල නොවේ. සීත කාලවලදී හේන්වල “කණුමදු” වලටත් හීන පේන බව පැරැණි ගැමියෝ පවසා ඇත්තේ සීත Rතුවට ඒ තරමටම සිහින පෙනෙන බැවිනි. එහෙයින් සීත කාලයේදී පෙනෙන සිහින වල එතරම් වැදගැම්මක්‌ ද නොමැත.

වාතය, පිත හා සෙම කෝප කරවනු ලබන ආහාර ගත් විටද බොහෝ බහුබූත හීන දකින්නට ලැබෙයි. එසේ පෙනෙන හීන ද ජ්‍යෝතිෂ මතයට අනුව සපල නොවන හීනයන්ය. රා, අරක්‌කු වැනි මධ්‍යසාර වර්ග පානය කොට නිදාගන්නා අවස්‌ථාවලදී පෙනෙන හීනයන් ද “ඩෝප් සීන්” මිස සැබෑ වන හීන නොවෙයි එමෙන්ම එම හීන ජ්‍යෝතිෂයට අනුව විග්‍රහ කිරීමක්‌ ද කළ නොහැක.

අඩ නින්දේදී පෙනෙන සිහින ද රාත්‍රි 11.00 ට පෙර පෙනෙන හීනද අලුයම හතරෙන් පසුව පෙනෙන හීන ද ජ්‍යෝතිෂ මතයට අනුව පලාපල විග්‍රහ කළ නොහැකි හීන වෙති. රාත්‍රි 11.00 ත් අලුයම 4.00 ත් අතර පෙනෙන හීන සඳහා ජ්‍යෝතිෂයට අනුව පලාපල කීමක්‌ හා විග්‍රහ කිරීමක්‌ කළ හැකිය. කිසිදාක හීනයක්‌ දැක නැතැයි මා සමග ප්‍රකාශ කළ අයද බොහෝ දෙනෙක්‌ වෙති. නමුත් මගේ මතය නම් ඔහුට හීන පෙනුන ද එම හීන පිළිබඳව මතකයක්‌ නොමැතිකම මිස කිසිදිනක හීන පෙනී නැතැයි කීම පිළිගත නොහැකි කරුණකි. කෙනෙකුට හීන නොපෙනෙන්නේ නම් එය ද රෝගී තත්ත්වයකි.

කෙසේ වෙතත් මෙය කියවන ඔබ කිසියම් දිනක හෝ සිහිනයක්‌ දුටු අයකු යෑයි මම සිතමි. ඉහතින් දක්‌වන ලද සීත කාලයේදී නොවී දවල් ද නොවී ප්‍රකෘති සිහියෙන් හා යහපත් නුවණින් යුතුව රාත්‍රි 11.00 ත් අලුයම හතරත් අතර දුටු සිහිනයක්‌ වේ නම් එය ජ්‍යෝතිෂ මතයට අනුව කොපමණ දුරකට සැබෑ වූයේද? ඉන් ඔබට ලද ලාබයක්‌ හෝ පාඩුවක්‌ වූයේද? යන්න පිළිබඳව මදක්‌ විමසා බලන්න.

ඔබේ නිවසට වැල නොකැඩී ජනී ජනයා එන අන්දම ඔබ යම් දිනක සිහිනෙන් දුටුවේ නම් ඔබේ නිවසේ මරණයක්‌ පින්කමක්‌ උත්සවයක්‌ හෝ මිනිසුන් ගැවසෙන ඒ අන්දමේ අවස්‌ථාවක්‌ සිහිනය දැක සත් දිනක්‌ යාමට මත්තෙන් සිදුවිය යුතුය. එසේම තෑගි බෝග, බඩු පුරවන ලද මලු, ඇඳුම් පැළඳුම් කරපින්නාගෙන ඔබේ නිවසට දෙතුන් දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ සිනාමුසු මුහුණින් යුතුව පැමිණෙන්නේ නම් එය ඔබට විශාල ලාබයක්‌ අත්කොට දෙන තත්ත්වයකි. තරුණ තරුණියන් ඉතා හොඳින් හැඳ පැළඳ විනෝදයෙන් සිටින අයුරු ඔබ හීනෙන් දුටුවේ නම් එය ඔබට සන්තෝෂය ගෙන දෙන අන්දමේ ලාබයකි.

ජ්‍යෝතිෂ මතයට අනුව සිහින පලාපල විස්‌තර කිරීමේදී ඔබ නිරුවත්ව සිටින අන්දමත්, ඔබ නිරුවත්ව සිටියේ මහා සෙනගක්‌ මධ්‍යයේ නම් එය ද ඔබට විශාල ලාබයක්‌ ගෙන දෙන කරුණකි. එමෙන්ම ජීවිතයේ ඉදිරි කාලය වඩා යහපත් වන බව කියාපෑමේ පෙරනිමිත්තකි. ඔබ ඔබේ හෝ අන් අයගේ ලේ හෝ අසුචි හෝ සිහිනෙන් දුටුවේ නම් එයද ලාබයකි. නමුත් ඔබගේ මුඛයේ දත් වැටෙනු දැකීම විපතකි. උඩ ඇන්දේ ඉස්‌සරහා දතක්‌ ගැලවෙන අන්දම හීනෙන් දුටුවහොත් අනතුරකි. දුකකි. හක්‌කේ ලොකු දතක්‌ ගැලවී යැම දකින්නේ ප්‍රබලම සහෝදරයාගේ හෝ සහෝදරියගේ විපතක්‌ ළං වූ විටකදීය. එහෙත් හීනෙන් දත් ගැලවී යන අවස්‌ථාවේදී අධික ලෙස ලේ ගලා යමින් දත් ගැල වී යන අන්දම ඔබ දකින්නේ නම් එය ඔබට කිසියම් ලාබයක්‌ ගෙන දෙන පෙර නිමිත්තකි.

ඉතා පිරිසිදු පැහැදිලි ජලය එකතැන ඇති අන්දම දැකීම අශුභය. බොරදිය දැකීම ඊටත් වඩා අශුභය. පිරිසිදු නිල්වන් ජලය ලතාවකට ගලාගෙන යන අයුරු ඔබ දුටුවේ නම් ඒ ඔබට වාසනාව උදාවීමේ පෙරනිමිත්තකි. එමෙන්ම ඔබ ජලයේ ගිලී මියයන අන්දම හීනෙන් දැකීම ද ඔබට ලාබයකි.

යම් හීනයකදී ඔබ මියගොස්‌ සිටි අන්දම දකීනම් ඔබට අසුබය. වෙනත් අයකු මියගොස්‌ සිටිනු දැකීමද ඔබට අගුණය. නමුත් ඔබ දුටු පුද්ගලයාට වාසියකි. එහෙත් මළ මිනියක්‌ පණුවන් ගසා ඕජස්‌ ගලමින් තිබෙනු දැකීමෙන් ඔබ කාලාන්තරයක්‌ මුළුල්ලේ බලාපොරොත්තුවෙන් සිටි යහපත් කරුණක්‌ සපල වීමකි.

අලි, ඇතුන්, බල්ලන්, නරි ඔබ හීනෙන් දකින්නේ ඔබට දෙවි දොaෂ ඇති වන කාල වකවානු වලදීය. සතුන් දෙදෙනෙක්‌ හෝ රංචුවක්‌ පොරකෑම දකින්නේද එම කාලවලදීය. සෙනසුරු වැනි ඒරාෂ්ඨක අපල උදාවන විට මෙවැනි සිහින පෙනීම සිදුවන බව ජ්‍යෝතිෂ ඉගැන්වීමයි.

ඔබ වැරහැළි ඇඳ සිටිනු දැකීම මෙන්ම යාචකයන් දැකීම අසුබ ලකුණකි. මුදල් හා මුදල් නෝට්‌ටු මිටි පිටින් දැකීම ඔබ ණයකාරයකු වීමේ ලක්‍ෂණයකි. ඔබ ඉදිකරණ නිවස කඩාවැටෙනු දැකීම ළඟම ඥතියකුගේ මරණයකි. බිත්තියක්‌ කඩාගෙන වැටෙනු දැකීම අකල් මරණයක ලකුණකි. එමෙන්ම ගහ කොළ ඉදිරී බිම වැටෙන දැකීම ද පැරණි ගස්‌ කඩාවැටීමද හීනෙන් පෙන්නුම් කරන්නේ අකල් මරණ පිළිබඳ ප්‍රවෘත්ති අසන්නට කිට්‌ටු වන විටදීය. විශේෂයෙන්ම ගර්භණී අවස්‌ථාවලදී ඔබ සුදු වස්‌ත්‍ර ඇඳ සිටිනු සිහිනෙන් දැකීම එතරම් සුබ නොවේ. නාගයෙක්‌ දුටුවේ නම් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙන්නේ පිරිමි දරුවෙකි. නාගයා වෙනත් සතකු පසුපස එලවා යන අන්දම දකින්නේ ගැහැනු දරුවකු ලැබීමේ භාග්‍යයක්‌ ලෙසිනි. පැන පැන යන ගෙම්බකු ඔබ ගර්භණී සමයේදී හීනෙන් දැකීම අංගවිකල හෝ දුර්වල දරු සම්පතක්‌ ලැබෙන නියාව කියා පෑමකි. මල්, කුරුල්ලන් දක්‌නට ලැබුණි නම් වාසනාවන්ත දරු උපතකි.

රජුන් දැකීම, පොලිස්‌ නිලධාරීන් දැකීම, මිනිසුන් නැසිය හැකි අවි ආයුධ දැකීම, මරණ දණ්‌ඩනය දැකීම, එල්ලුම්ගහ දැකීම, කටුගස්‌ දැකීම, නියඟය දැකීම, ඉබ්බන් කැස්‌බෑවුන් වැනි සතුන් දැකීම ඔබට කරදර පිට කරදර පැමිණීම සංකේතවත් කරන්නකි. එමෙන්ම නීතියේ

රැහැනට හසුවීම දඬුවම් ලැබීම ආදිය සිදුවන්නට දින කීපයකට පෙර එවැනි සිහින පෙනෙන බව සිහින විග්‍රහ කිරීම පිළිබඳ ජ්‍යෝතිෂ මතයයි. කෙසේ වෙතත් අසුබ සිහිනයක්‌ දුටු විට එය අන් අය සමග ප්‍රකාශ කරනවාට වඩා දෙහි, දොඩම්, නාරං වැනි පැඟිරි ගසකට කීමෙන් හීනයේ නපුරු බව දුරු වී යන බවටද ජ්‍යෝතිෂ මතයක්‌ වෙයි. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ ඔබ දුටු සිහිනය සුබ සිහිනයක්‌ ද අසුබ සිහිනයක්‌ ද යන්න මුලින්ම ඔබ විසින්ම යම් විනිශ්චයකට ලක්‌කිරීමයි. යම් පිළියමක්‌ යෙදිය යුතු වන්නේ ඉන් අනතුරුවයි. අද මිනිසා විසින් ගෙවනු ලබන කාර්ය බහුල ජීවිතය මැද සිහින වගවිභාග කිරීමට කාලයක්‌ නොවන නිසා සයනයෙන් අවදි වෙත්ම සිහිනය පිළිබඳව වූ මතකය ද මනසින් ගිලිහී යයි. නමුත් නියමිත කාලයේදී නියමිත පරිසරයක්‌ තුළ මිනිසාට පෙනෙන හීන ජ්‍යෝතිෂානුකූලව විග්‍රහ කොට එහි පලාපල කිවහැකි බව අප අමතක කළ යුතු නොවේ.

ජ්‍යෝතිෂවේදී
දිනසේන රතුගමගේ

Loading...