web counter
Loading...

වැහිලිහිණි කූඩු සුප් ලිංගික උත්තේජනයක්ද?

Loading...

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය අසළ ඇති අංක 14 දරන සිංගිමලේ දුම්රිය උමග තුළ තිබූ වැහි ලිහිණි කූඩු කඩා ඉවත් කරගත් පුද්ගලයෙකු පසුගිය දිනෙක හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. මෙම වැහිලිහිණි කූඩු ජාවාරම මෑත කාලයේදී පමණක් සිදුවූවක් නොව බොහෝ කාලයක සිටම සිදුවෙමින් පවතින්නකි. මෙයට පෙර ද බොහෝ අවස්ථාවල දී මේ ජාවාරමට සම්බන්ධව පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථාවන් බොහොමයක් පිළිබඳ වාර්තා වී තිබේ. මෙය වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පණත යටතේ බරපතල වරදකි.

මේ ආකාරයට කඩා ගන්නා වැහිලිහිණි කූඩු රැගෙන ගොස් සංචාරක හෝටල්වලට අලෙවි කරනු ලබයි. එ් මෙම වැහිලිහිණි කූඩු තම්බා සුප් පිළියෙල කරන බැවිනි. මෙසේ සාදාගනු ලබන සුප් සංචාරකයන් අතර අතිශය ජනප‍්‍රිය පානයකි. එයට හේතුව මේවායේ ඉහළ වාජීකරණ ගුණයක් ඇතැයි පවතින විශ්වාසයයි. එමෙන්ම මෙම සුප්වල හෘද රෝග වැලැක්වීමේ ගුණයක් ඇතැයි ද පැවසේ. මේ නිසාම වැහිලිහිණි කූඩුවලින් පිළියෙල කරගනු ලබන සුප් අධික මිලකින් ද යුක්ත වේ. හොංකොංවල වැහිලිහිණි සුප් කෝප්පයක් ඇමරිකානු ඩොලර් 30 – 100 (රු. 4,553 – 15,178) අතර මිලකින් යුක්තය. මෙම සුප්වල පවතින්නේ යැයි පැවසෙන මෙම ගුණය පිළිබඳව රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතාගෙන් විමසා සිටි විට ඔහු පැවසුවේ සිටියේ මෙවැන්නකි.

”ලෝකයේ විද්‍යාත්මක සහ විද්‍යාත්මක නොවන වශයෙන් ඖෂධ වර්ග දෙකක් තිබෙනවා. විද්‍යාත්මක ඖෂධ මෑතකදී ලොවට ලැබුණු එ්වා වන අතර විද්‍යාත්මක නොවන ඖෂධ වසර දහස් ගණනක් තිස්සේ ජනතාව අතර පැවතුණා. වැහිලිහිණි කූඩුවලින් සාදා ගනු ලබන සුප් සැලකෙන්නේ ද විද්‍යාත්මක නොවන ඖෂධයක් ලෙසයි. ලිංගික උත්තේජනය ඇතිකරන්නේ යැයි ජන විශ්වාසයක් පවතින වාජීකරණ ඖෂධ සහ ශාක වර්ග ලෝකයේ සෑම තැනකම පවතිනවා. උදාහරණයක් වශයෙන් රයිනෝසිරස්ගේ අඟෙන් ලබාගන්නා කුඩු සඳහන් කළ හැකියි. මෙම කුඩුවලින් සාදාගන්නා ආලේපනයක් මගින් ද ලිංගික ශක්තිය වැඩිකරන්නේ යැයි විශ්වාසයක් පවතිනවා. මේ නිසාම එම අඟක වටිනාකම ඇමරිකානු ඩොලර් 300,000 (රු. කෝටි 4.5ක්) පමණ වෙනවා. මේ තත්වය යටතේ අං ලබා ගැනීම පිණිස රයිනෝසිරස් සතුන් විශාල වශයෙන් මරා දැමෙන අතර ඊට එරෙහි සත්ව ලෝලීන් එ් රටවල දැවැන්ත ව්‍යාපාර දියත් කොට තිබෙනවා.

එ් වගේම අපේ රටේ වැල්පෙනෙල (Sapindus trifoliata) පිළිබඳව ද මෙබඳු මතයක් පැතිර පවතිනවා. නමුත් මේවා විද්‍යාත්මකව විශ්ලේෂණය කොට බැලීමේ දී පෙනී යන්නේ එවැනි ගුණයක් ඇතිකරන සංඝටක මේවායේ අඩංගු නොවන බවයි. කොතල හිඹුටු(Salacia reticulata) දියවැඩියාව සුව කරන බවටත් විද්‍යාත්මකව තහවුරු වී නැහැ. එසේ වුවත් ජනතාව තුළ එවැනි විශ්වාසයක් ද පවතින බව පෙනෙනවා.

මේ සම්බන්ධව රසායනික පරික්ෂාවන්ට අමතරව ලෝකයේ මෙබඳු නිරීක්ෂණ ද සිදුකෙරෙනවා. අපේ රටේ වුව ලිංගික බෙලහීනතාවයක් සහිත පිරිමින් කණ්ඩායමක් ගෙන ඔවුනට මාසයක් හෝ යම් කිසි නිශ්චිත කාලයක් තුළ අඛණ්ඩව වැල්පෙනෙළ කැඳ බීමට ගන්නැයි උපදෙස් දිය හැකියි. මේ නිශ්චිත කාල පරිච්ජේදය අවසානයේ ඔවුන්ගෙන් කෙරෙන ප‍්‍රශ්න කිරීම්වලදී තමන් තවමත් පෙර පරිදිම ලිංගික බෙලහීනතාවයෙන් පසුවන්නේ යැයි බොහෝ දෙනෙකු පවසන්නේ නැහැ. ඔවුන් පවසන්නේ එසේ අඛණ්ඩව කැඳ බීමෙන් සැලකිය යුතු ගුණයක් ලැබී ඇති බවයි. එ් අනුව එවන් පරීක්ෂණ මගින් ලිංගික බෙලහීනතාවයට වැල්පෙනෙලවලින් කිසියම් සහනයක් ලැබෙන බව සනාථ කළ හැකියි. නමුත් මෙයට හේතුව සැබවින්ම ඔවුනට එවැනි කායික ගුණයක් ලබා ඇති නිසා නොවෙයි. එසේ ලැබී ඇතැයි සිතීම නිසා එම සුවපත්භාවය ලබා තිබීමයි. මෙය සැබැවින්ම මනෝ විද්‍යාත්මක කාරණයක්. ඒ අනුව වැහිළිහිණි කූඩු සුප් ද සැබෑ ඔසුවක් නොව හුදෙක්ම ‘අස්වැසුම් ඔසුවක් (Placebo) ලෙස සඳහන් කළ හැකියි. එනම් ජෛව රසායනික වශයෙන් යම් කිසිවක් සිදු නොවුණ ද මානසික වශයෙන් යම් දෙයක් සිදුවන බැව් පැහැදිලියි. එ් හැරුණු කොට වැහිලිහිණි කූඩු සුප්වල වාජීකරණ ගුණයක් හෝ හෘද රෝග නිවාරණ ගුණයක් ඇතැයි ලොව කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් සනාථ වී නැහැ.”
හෘද රෝග විශේෂඥ නාමල් විජේසිංහ කියයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Loading...