web counter
Loading...

ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන මානසික රෝගය Morbid Jealousy

Loading...

සුළු සුළු මත ගැටුම් නැත්තේ කුමන නිවසේද? අඹු සැමියන් අතර ඇතිවන මත ගැටුම් බත් හැලිය ඉදෙන තුරු පමණක් වුවද, යම් අවස්ථාවල ඇතිවන සමහර ගැටලු යම් මානසික රෝගී තත්ත්වයන්වල ලක්ෂණ විය හැකි බව ඔබ දැන සිටියාද?

මොර්බිඩ් ජෙලසි (Morbid Jealousy)

මෙය උග්‍ර මානසික ව්‍යාධියක් ලෙස සලකන රෝගී තත්ත්වයකි. ඩිලුෂනල් ඩිසෝඩර්, එසේත් නැතිනම් ඔතෙලෝ සින්ඩ්‍රෝම් යන නම්වලින් ද මෙම රෝගි තත්ත්වය හඳුන්වනු ලැබේ. මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදු රෝගී තත්ත්වයක් වන අතර පුරුෂයන් කෙරෙන් බහුලව හඳුනාගත හැකි රෝගී තත්ත්වයකි. මෙහිදි ප්‍රධාන වශයෙන් සිදුවනුයේ තම සහකරු හෝ සහකාරිය වෙනත් අනියම් ලිංගික සබඳතාවක් පවත්වන්නේය යන සැකයෙන් පෙළීමයි.

මෙහිදී අනෙක් පාර්ශ්වය නැතිනම් තම සහකරු හෝ සහකාරිය හා සම්බන්ධයෙන් සැක කරන එවැනි අනියම් සම්බන්ධයක් පිළිබඳ කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් නොමැතිව සැකයට එළඹීම මෙහි විශේෂත්වයි. තවද එවැනි සබඳතාවක් නැති බවට සාක්ෂි ලැබුණ ද තම සැකය බිඳුවකින් හෝ වෙනස්කර නොගැනීම මෙවැනි පුද්ගලයකුගේ ස්වභාවයයි.

තවද මෙවැනි සැකයක් ඇති වූ පසුව එවැනි පුද්ගලයකු පෙන්නුම් කරන හැසිරීම් රටාවක් ද හඳුනාගත හැක. එනම්, තම සැකය තහවුරු කර ගැනීම සඳහා තම සහකරු/ සහකාරිය යන එන ස්ථානවලට රහසිගතව යාම් – ඊම් සිදු කිරීම හා ඇය / ඔහු කරන්නේ කුමක්දැයි රහසිගතව බලා සිටීම, ඇය හෝ ඔහු හා සම්බන්ධ තොරතුරු එක් රැස් කිරීම එනම් දුරකථන ඇමතුම්වල වාර්තා පිරික්සා බැලීම නිතරම තම සැකය ඔස්සේ ප්‍රශ්න කරමින් සහකරු/සහකාරියව පීඩාවට පත් කිරිම එසේම තම බිරිඳ/සැමියා සමඟ වෙනත් කිසිවක්ම කතා නොකර මේ පිළිබඳ පමණක්ම දවස පුරාම කතා කිරීම, ඒ පිළිබඳ ප්‍රශ්න කිරිම, කේන්ති ගැනීම ප්‍රකෝප වී පහර දීම, එසේම තම සැමියා හෝ බිරිඳගේ යට ඇඳුම්වල යම් යම් ස්‍රාවයන් තැවරී ඇත්දැයි නිතර පරීක්ෂා කිරීම, අත්බෑග් පරීක්ෂා කිරීම, ජංගම දුරකථනයේ ඇමතුම් හා කෙටි පණිවුඩ පරික්ෂා කිරීම, තම සහකරු හෝ සහකාරිය පවත්වාගෙන යනු ලබතැයි සිතන සම්බන්ධතාවය හේතුවෙන් තමාට ද ලිංගාශි‍්‍රත රෝගයක් බෝ වෙතැයි යන අනියත බිය හේතුවෙන් ලිංගාශි‍්‍රත රෝග පරීක්ෂාවන්ට යොමු වීම මෙහිදී හඳුනාගත හැක.

එසේම තම දරුවන් අතුරෙන් යම් දරුවන් තමන්ගේ නොවේ යැයි යන හැඟුමෙන් එම දරුවන්ට පහර දීම, වද හිංසා සිදු කිරිම ආදිය මෙවැනි පුද්ගලයන් කෙරෙන් දැකිය හැකි ගති ස්වභාවයක් වේ. බොහෝවිට මෙවැනි රෝගීන් හඳුනාගනු ලබන්නේ ද දරුවන්ට වද හිංසා පැමිණවීම පිළිබඳ වාර්තාවන සිදුවීම් පිළිබඳ වැඩිදුර සිදු කරන පරීක්ෂණවලදීය.

තවද මෙවැනි පුද්ගලයන් කලාතුරකින් දරුවන් මරා දමන අවස්ථා ද වාර්තා වේ. එසේම ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන මානසික ව්‍යාධිය ද මෙය වේ. තවද මෙවැනි පුද්ගලයන් වෙතින් තම සහකරු, සහකාරිය මෙන්ම ඔවුන් හා සම්බන්ධතා පවත්වනවා යැයි සැක කරන පුද්ගලයන් පවා මරණයට පත්වන අවස්ථා ද හඳුනාගත හැක.

බොහෝවිට මෙවැනි පුද්ගලයන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී නිශ්චිත හෝ පැහැදිලි සාක්ෂි ලබා දීමට ද ඔවුන් අසමත් වේ. බොහෝවිට කිසිදු පදනමකින් තොර සාක්ෂි මත මෙවැනි පුද්ගලයන් තම සැකය පවත්වාගෙන යති. මෙහිදී අදාළ රෝගී පුද්ගලයාගේ පීඩනයට භාජනය වන අනෙක් පුද්ගලයා දැඩි කළ කිරීමට, විෂාදය වැනි තත්ත්වවලට ගොදුරු විය හැක.

මෙම රෝගයට ගොදුරු වීමට බලපාන කරුණු

මත්පැන්, ගංජා වැනි දේට ඇබ්බැහි වීම මෙම පුද්ගලයන් තුළින් හඳුනාගත හැක. මෙවැනි රෝගීන් උමතු පුද්ගලයන්ගේ වෙන්කර හඳුනාගත හැකි ලක්ෂණ ඇත. එනම් උමතු පුද්ගලයකු වෙතින් දකින නොගැලපෙන හැසිරීම් සිනාසීම, තනිවම කතා කිරීම ආදී ලක්ෂණ මෙබඳු පුද්ගලයකු වෙතින් හඳුනාගත නොහැකි වේ.

මෙවැනි පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීම් දැකගත හැක්කේ අදාළ සැකය පිළිබඳ කතාබහ කිරීමේදී පමණය. අන් අවස්ථාවලදී ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් සේ හැසිරෙති. එබැවින් මෙවැනි රෝගයකින් පෙළෙන පුද්ගලයකු බාහිර සමාජයට එකවර හඳුනා ගැනීම යම් තරමකට අපහසු වේ.

නමුත් නිවාස තුළදී මෙවන් පුද්ගලයකුගේ සැකයට බඳුන්වන තැනැත්තා හෝ තැනැත්තිය සමඟ සිටිනා විට ඉතා දරණු හැසිරීම් මෙවන් පුද්ගලයන් ප්‍රදර්ශනය කරති. එබැවින් මෙවන් පුද්ගලයකුගේ සැබෑ ස්වභාවය දැකගත හැකි වනුයේ නිවසේ සිටින බිරිඳ, ස්වාමියා හෝ දරුවන්හටය.

මෙම රෝගීන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවා ගැනීම ද ඉතා දුෂ්කර වේ. තමාට එවන් රෝගයක් ඇතැයි යන්න එබඳු පුද්ගලයන් පිළි නොගනී. නමුත් ප්‍රතිකාර මඟින් මෙබඳු පුද්ගලයන්ගේ සැකය මුළුමනින්ම දුරුකොට සුවපත් කිරීමේ හැකියාව පවතී. මේ සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර කිරීම අවශ්‍ය වන අතර ඉන් ඉතා ඵලදායි ප්‍රතිඵල අත් වේ. එබැවින් මෙබඳු පුද්ගලයන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ.

තවද මෙබඳු පුද්ගලයන්ගෙන් ජීවිත අවදානමක් සහිත පුදගලයන් ද සිටිය හැක. එවන් හානිදායක තත්ත්වයකදී පොලිසිය හෝ උසාවිය මාර්ගයෙන් මෙබඳු පුද්ගලයන් ප්‍රතිකාර සඳහා යොමු කරවීම යම් අවස්ථාවල අවශ්‍ය විය හැක. තවද මෙබඳු හැසිරීමක් බොහෝවිට එකවර මතුවීම ද හඳුනාගත හැක. එනම් ඉතාම සුළු සිදුවීමක් එනම් තම සහකරුට හෝ සහකාරියට පැමිණි දුරකථන ඇමතුමක් හෝ වෙනත් සුළු සිදුවීමක් මූලික කර ගනිමින් මෙබඳු පුද්ගලයන්ගේ වෙනස්වීම සිදුවිය හැක. මොළයේ යම් ස්ථානවල රසායනික වශයෙන් සිදුවන වෙනස්කම් හේතුවෙන් ස්නායු ක්‍රියාකාරීත්වයන්ගේ සිදුවන වෙනස්කම් හේතුවෙන් මෙය සිදුවේ. මෙසේ ඉතාම කෙටි කාලයක් තුළ පහළ වන රෝග ලක්ෂණ දිගටම පැවතිය හැකි වේ.

මානසික ව්‍යාධීන් අතර උග්‍ර මානසික ව්‍යාධියක් ලෙස සැලකෙන මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලැබීම ඉතා වැදගත් වේ.

සමුද්‍රිකා වර්ණකුල

Loading...