web counter
Loading...

මේ දිනවල දරුවන්ට වැළඳෙන උණ කල්පනාවෙන් ඉන්න

Loading...

වර්තමානයේදී බහුලවම දැකගත හැකි රෝග තත්ත්ව අතර උණ පිළිබඳ කා අතරත් කථාබහට ලක්වේ. රෝගයකටත් වඩා රෝග ලක්ෂණයක් වශයෙන් සැලකෙන උණ ඇති වීම සඳහා විවිධාකාර හේතූන් බලපෑ හැකියි. එම හේතු අතර වෛරස්, බැක්ටීරියා ආසාදන වගේම හඳුනානොගත් වෙනත් හේතූන් ද තිබිය හැකියි.

විශේෂයෙන් දරුවන් පිළිබඳ සලකා බැලීමේදී සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට්ස් අංශක 98.4 ඉක්මවා යන විටෙකදී එය උණ තත්ත්වයක් වශයෙන් හඳුනාගනු ලැබේ. මෙවැනි උණ තත්ත්වයක් හටගත් සැණින් බොහෝ මව්පියන් අනවශ්‍ය ලෙස කලබලයට පත්වන අතර හැකි ඉක්මනින් දරුවාව රෝහල්ගත කිරීමට කටයුතු කරනු ලැබේ. නමුත් අවම වශයෙන් උණ ඇති වී පැය 12ක් වත් ගතවනතුරු පැරසිටමෝල් ලබාදීම හරහා උණ තත්ත්වය පාලනය වනවාදැයි විමසිලිමත් වීම ඉතා වැදගත්. ඒ වගේම නිවසේදී පැරසිටමෝල් ලබාදෙනවා නම් සෑම අවස්ථාවකදීම දරුවාගේ වයස, බර පිළිබඳ සැලකිලිමත් වී ඊට අදාළ මාත්‍රාවම ලබාදීමට කටයුතු කළ යුතුයි. පැරසිටමෝල් දියර, පෙති හෝ සපොසිටරි වශයෙන් දරුවාට ලබාදිය හැකියි.

සාමාන්‍යයෙන් පැරසිටමෝල් ඉහත කුමන ආකාරයකට ලබා දුන්නත් පැය භාගයක් වැනි කාලයකදි දරුවාගේ උණ තත්ත්වය යටපත් විය යුතුයි. නමුත් එසේ යටපත් නොවුණහොත් එය යම් බරපතළ තත්ත්වයක් පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් වශයෙන් සැලකිය හැකියි. වර්තමානය වනවිට දැකගත හැකි උණ ප්‍රධාන රෝග ලක්ෂණය වූ බරපතළ මට්ටමේ රෝග තත්ත්ව ලෙස ඩෙංගු, බැක්ටීරියා ආසාදන (විශේෂයෙන් ඩයරියල් බැක්ටීරියා) පිළිබඳ හඳුන්වාදිය හැකියි.

විශේෂයෙන් දරුවෙකුට උණ ඇති වූ විට දරුවාගේ ශරීර උෂ්ණත්වයේ අඩු වැඩි වීම් පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කිරීම ඉතා වැදගත්. ඊටත් වඩා දරුවාගේ සාමාන්‍ය ක්‍රියාකාරකම්වල වෙනස්කම් පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. තවද පැරසිටමෝල් ලබා දීමෙන් අනතුරුව උණ තත්ත්වය අවම නොවනවා නම් හා දරුවාගේ සාමාන්‍ය හැසිරීම් වෙනදාට වඩා යම් වෙනසක් දකිනවා නම් දරුවා රෝහල්ගත කිරිම වැදගත්.

ඇතැම්විට පැරසිටමෝල් ලබාදීම හරහා දරුවාගේ උණ පැය 1/2ක් තුළ පහව ගියත් උණ ඇතිවීම සඳහා හේතු වූ රෝගය සම්පූර්ණයෙන් සුවපත් වූ බව ඉන් අදහස් නොවේ. එනම් එය තාවකාලික රෝග ලක්ෂණ යටපත් කිරීමක් ලෙසින් හැඳින්විය හැකියි.

දරුවකුට උණ ඇති වූ විට විශේෂයෙන් සිදු නොකළ යුතු දේ ද බොහෝමයි. ඇතැම් අය උණ අඩු කිරීම සඳහා පැරසිටමෝල්වලට අමරතව වෙනත් ඖෂධ ලබා දුන්නත් එය එසේ සිදු කිරීම කිසිවිටෙකත් නොකළ යුතුයි. හේතුව ඩෙංගු වැනි රෝග තත්ත්ව එසේ උණ තදබල ලෙස පාලනය කිරීම මත හඳුනා ගැනීම ගැටලුකාරී විය හැකි නිසාවෙනි.

උණත් සමඟ ඇතිවන අනෙකුත් රෝග අවස්ථාව වන්නේ වලිප්පු තත්ත්වයයි. මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ වයස මාස 06ත් අවුරුදු 06ත් අතර දරුවන්ය. වලිප්පු තත්ත්වයක් එක් වරක් ඇති වූ අයෙකුට නැවත ඇතිවීමේ වැඩි නැඹුරුවක් දැකගත හැකියි. ඒ වගේම ජාන මඟින් ද මෙම රෝග ලක්ෂණය සම්පේ‍්‍රෂණය විය හැකි අතර උණ ඇති වී පළමු පැය 24 තුළ වලිප්පු තත්ත්වයක් ඇති නොවුණහොත් නැවත ඇතිවීමේ ප්‍රවණතාවක් නොමැත. උණ අවම කිරීම සඳහා සිදු කළ හැකි වඩාත් වැදගත්ම කාර්යභාරය වන්නේ හැකිතරම් දියර වර්ග දරුවාට ලබාදීමයි. ඒ වගේම දරුවා මද රස්නය සහිත ජලයෙන් තෙමීම වඩාත් සුදුසු වන නමුත් ඇතැම් අය සීතල ජලයෙන් දරුවා තෙමීම සිදු කරන අතර එය කිසිවිටෙකත් නොකළ යුත්තක්.

සාමාන්‍යයෙන් දරුවකුට දවසකට වඩා උණ පවතිනවා නම් වෛද්‍යවරයෙක් මුණගැසී ප්‍රතිකාර ලබා ගත යුතුයි. දරුවාට නිතර වමනය, වෙනස් ආකාරයක නිදිමත, උදරයේ වේදනාව,හැඬීම, කෙඳිරිය, ආහාර නොගැනීම මෙන්ම මුත්‍රා නිසි ආකාරයෙන් පිට නොවීම යන රෝග ලක්ෂණ උණ තත්ත්වයත් සමඟ පවතිනවා නම් දරුවා අනිවාර්යයෙන් ප්‍රතිකාර කරා රැගෙන යා යුතුයි.

ඩෙංගු තත්ත්වය ද මේ වනවිට ලංකාවේ සුලබව පවතින අතර ඩෙංගු උණ හා රක්තපාත තත්ත්වය ලෙසින් එය කොටස් දෙකකට වර්ග කළ හැකියි. මෙම අවස්ථා දෙක අතුරින් වඩාත් බරපතළ තත්ත්වය වන්නේ ඩෙංගු රක්තපාත තත්ත්වයයි. නමුත් මෙම අවස්ථා දෙකේදීම එක සමාන රෝග ලක්ෂණ දැකගත හැකි අතර ඇස් රතු වීම, උදරයේ වේදනාව (විශේෂයෙන් දකුණු පසට වන්නට), වෙනස් ආකාරයේ නිදිමත, වමනය ආදී රෝග ලක්ෂණ ඇති වනවා පමණක් නොව පැරසිටමෝල් ලබා දීමෙන් පසුවටත් උණ තත්ත්වය අඩු නොවේ. මෙවැනි අවස්ථාවකදී දරුවාගේ රෝග ලක්ෂණ පිළිබඳ අවාධානයෙන් කටයුතු කිරීම වගේම උණ වැළඳී පළමු දිනයේම රෝහල්ගත කිරිම හා රුධිර පරීක්ෂණ සිදු කිරීම ද නොකළ යුතුයි.

නමුත් දරුවාට උණ අඩු විමේදී නිදිමත ස්වභාවයක් ගන්නවා නම් වහාම රෝහල් ගත කර අදාළ වෛද්‍ය පරීක්ෂණ මත ඩෙංගු ඇති නැති බව තහවුරු කරගෙන ප්‍රතිකාර ආරම්භ කිරීම වඩා වැදගත්.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය
පද්මකාන්ති විජේසූරිය
(නුවන්ති කුලරත්න)

Loading...