web counter
Loading...

මස්බැද්ද කොළ දෙකක් අමුවෙන් හැපුවොත් ශරීරයේ සීනි මට්ටම එවෙලේම පහත වැටෙනවා

Loading...

මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම කළ පසුව ඔහු මගෙන් ‍මෙවන් ප්‍රශ්නයක් අසා සිටියේය.

“ඩොක්ට’මට මේ බෙහෙත් නොබී මස්බැද්ද වගේ දේකින් සීනි අඩු කර ගන්න බැරිද?”

“මොනවද මස්බැද්ද කියන්නේ? මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ; අනික මම දන්න තරමින් වෛද්‍ය විද්‍යාත්මකව එහෙම දෙයක් ගැන කියැවෙන්නෙත් නැහැ; ඒ නිසා මට ඒ ගැන මොකුත් කියන්න බැහැ. මට කියන්න පුළුවන් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වුණු ඖෂධ ගැන විතරයි.” ඒ මොහොත් මම ඔහුට කීවෙමි.

එහෙත් ඊට දින කිහිපයකට පසු මහනුවර සිට කොළඹ බලා ආපසු එමින් සිටින අතරේ මාර්ගය අද්දර පැළ තවානක තිබූ මෙවැනි පුවරුවක් දකින්නට ලැබුණි.

“මස්බැද්ද පැළ විකිණීමට තිබේ.”

එහි දී එක්වරම මගේ සිහියට නැංවුණේ අර රෝගියා මා හා කී කතාවය. ඒ සමඟම ඔහුගේ බිරිඳ කී මෙම කතාවද මට සිහිපත් විය.

“ඩොක්ට’කෙනෙකුගේ ශරීරයේ සීනි මට්ටම හුඟක් ඉහළ ගිය වෙලාවක මස්බැද්ද කොළ දෙකක් අමුවෙන් හැපුවොත් ඒ වෙලාවෙම සීනි මට්ටම පුදුම විදිහට අඩුවෙනවලු; අපි දන්න කෙනෙක් ග්ලූකෝ මීටර් එකකින් චෙක් කරලා ඒ කතාව ඇත්ත බව තහවුරු කරගෙනත් තියනවා. ඒ වගේම මස්බැද්ද කොළ දෙකක් හැපුවම දිවට රස දැනීමත් පැය කීපයක් යනතුරුම නතර වෙන බව මාත් අත්දැකලා තියනවා.”

ඒ කෙසේ හෝ මට ඒ සම්බන්ධයෙන් කීමට තිබුණේ එම කරුණෙහි ඇති සත්‍යතාවය පිළිබඳව මට කීමට යමක් නොමැති බවය. ඒ කෙසේ හෝ ඊට පසුව මම මෙම මස්බැද්ද ශාකය සහ එහි අඩංගු යැයි කියනු ලබන ශරීරරයේ සීනිමට්ටම පහත හෙළීමේ විස්මිත බලය පිළිබඳව අදාල මූලාශ්‍ර ඇසුරින් විමසුමක යෙදුණෙමි.

Gurmar යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන මස්බැද්ද ශාකය විද්‍යාත්මක වශයෙන් ASCLEPIADACEA කුලයට අයත් Gymnema Sylvestre නම් වන පැළෑටියකි. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පමණක් වැවෙන බව සඳහන්ව ඇති එම ශාකය මුල්කොට විවිධ විද්‍යාත්මක පර්යේෂණ සිදුවී ඇති බව ද සත්‍යයකි. එහෙත් ඒ බොහෝ පර්යේෂණ මීයන් වැනි සතුන් මුල් කොට සිදුවී ඇති අතර මිනිසුන් මුල් කොට සිදු කෙරුණු පර්යේෂණ කිහිපයක් ද ඒ අතර වෙයි.

ඉහත සඳහන් කළ රෝගියාගෙන් මා මුල්වරට දැනගත් පරිදි ඒ ශාක පත්‍රවලින් උකහා ගන්නා ක්‍රියාකාරී සංයෝග (dihydroxy gymnemic triacetate) මගින් ශරීරයේ සීනි මට්ටම, අධික රුධිර පීඩනය සහ සේම කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළීමේ ශක්තියක් ඇති බව එම පර්යේෂණ මගින් තහවුරු වී ඇති බව එම වාර්තාවන් හි සඳහන් වෙයි. එමෙන්ම එම පර්යේෂණ වාර්තා ලොව පිළිගත් වෛද්‍යායතන මගින් තහවුරු වී ඇති ඒවා බවද මට වටහා ගත හැකි විය.

නවීන විද්‍යාත්මක ඖෂධ වලට අමතරව සාම්ප්‍රදායික සහ විකල්ප වෛද්‍යක්‍රම මගින් ඖෂධ ලෙස නියම කෙරෙන ශාක කොටස් බොහෝ තිබේ. දියවැඩියාව සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ලෙස සමාජ සම්මත වූ එවන් ශාක කොටස් බොහොමයක් ගැන අපි අසා ඇත්තෙමු. ඒවායින් සමහරක් පරීක්ෂණ අධ්‍යයන (observational studies) මගින් ද සත්‍ය ලෙස තහවුරු වූ ඒවාය. එහෙත් එසේ නිරීක්ෂණ අධ්‍යයන මගින් තහවුරු වීම මත පමණක් යමක් ඖෂධ ලෙස පිළිගැනීමට නවීන විද්‍යාව සූදනම් නැත. අපි මීට කෙටි නිදසුනක් ගනිමු. වැල්පෙනෙල පුරුෂ දුබලතා මැඩ පවත්වා වාජීකරණ බලය ගෙන දෙන ඖෂධ සාරයක් බවට සමාජයේ පොදු පිළිගැනීමක් ඇත. ඒ අනුව ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පිරිමින් සිය දෙනකුට යම් කාල සීමාක් තුළ කිසියම් වාර ගණනක් තුළ වැල්පෙනෙල ආහාරයට හෝ පානයට ගැනීමට සලස්වා අවසානයේ ප්‍රතිපල සාමාලෝචනය කිරීමේ දී ඉන් යම් පිරිසක් තමන් එම බෙලහීනතාවයෙන් අත්මිදුණු බව ප්‍රකාශ කිරීමට පුලුවන. ඒ අනුව එම නිගමනය අනුව වැල් පෙනෙල යනු පිරිමින් ගේ ලිංගික දුබලතා මග හරින වාජීකරණ බලය වැඩි කරවන ආහාරයක්, පානයක් ලෙස සැලකීමට ද පුලුවන. නමුදු ඔවුන් ඒ සුවය ලබනුයේ වැල්පෙනෙල මගින් ශරීරයේ ජෛව රසායනික ව්‍යුහයට ඇතිවන බලපෑමක් නිසාද නැතහොත් මානසික බලපෑමක් (Psychological Component) නිසා ද යන්න පිළිබඳ නිවැරදි නිශ්චයකට පැමිණීමට ඒ ක්‍රමවේදයට නොපුලුවන. ඒ එම සුවයට හේතුව එම ශාකයේ ඇති ඖෂධීය ගුණයෙන් තමන් තුළ පවත්නා දුබලතාවය දුරුවී ඇතැයි යන මානසික සංතෘප්තිය ද එම සුවපත් වීමට මුල්විය හැකි බැවිනි. මෙම ශක්තිය නවීන විද්‍යාවේ හැඳින්වෙනුයේ තුටු බලය (Placebo effect) යනුවෙනි. එබැවින් නවීන වෛද්‍ය විද්‍යාව මෙබඳු ඖෂධයක් අත් හදාබැලීම සම්බන්ධ සායනික පරීක්ෂණ වලදී (Clinical trials) තවත් විද්‍යාත්මක උපාය මාර්ග පිළිපදිනු ලැබේ. ද්විකඅන්ධ පරීක්ෂණය (Double blind Experiment) යනු ලොව පුරා පිළිගන්නා එක් ක්‍රමයකි. කිසියම් රෝග ලක්ෂණයක් සඳහා ඖෂධීය නොවන සංයෝගයක් ලබා දීමෙන් රෝගියාට අත් වන සුවය සහ සැබෑ ඖෂධීය සංයෝගයක් ලබා දීමෙන් අත්පත් වන සුවය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් මගින් නිශ්චයකට එළැඹීම මෙම පර්යේෂණයේ සාමාන්‍ය ක්‍රම වේදයයි.

මා ඉහත සඳහන් කළ මස්බැද්ද ශාකයේ ඇති ශරීරයේ සීනි මට්ටම, අධික රුධිර පීඩනය සහ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමේ ජෛව රසායනික බලය පිළිබඳව විද්‍යාත්මකව තහවුරු වී ඇති බව මම මුලදීම කීවෙමි. එහෙත් එම ශාකය ඖෂධයක් ලෙස නියම කිරීමේ දී ඒ සම්බන්ධ සායනික දත්ත (Clinical data) විස්තරයක් වෛද්‍යවරයකුට ලැබිය යුතුමය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව එම විස්තරය නිකුත් කෙරෙනුයේ නිෂ්පාදිත ඖෂධ සම්බන්ධයෙන් පමණි. එම ඖෂධය නියම කිරීම සම්බන්ධ සියලු තොරතුරු සේම එහි ඇති අතුරු සහ පශ්චාත් ආබාධ ආදිය පිළිබඳ සෑම විස්තරයක්ම එහි සඳහන් වෙයි. එමෙන්ම තමන් නියම කරන සෑම ඖෂධයක් සම්බන්ධයෙන්ම අවශ්‍ය පරිදි රෝගියා දැනුවත් කිරීමද වෛද්‍යවරයා සතු වගකීමකි.

එහෙත් මස්බැද්ද ශාකය ඉහත සඳහන් රෝග සඳහා ගුණදෙන සංඝටක වලින් යුතු බව විද්‍යාත්මකව තහවුරු වී ඇතත් ඒ ශාකය මුල් කොට නිපදවන බටහිර ඖෂධ ලෝකයේ නොමැති බැවින් සායනික දත්ත ද නොමැත. ඒ අනුව ශරීරයේ සීනි පාලනය සම්බන්ධයෙන් එවන් ශාකයක් ඖෂධ වශයෙන් ගත යුතු යැයි නිර්දේශ කිරීමට මට නොපුළුවන. ඒ එමගින් ඇතිවන අතුරු සහ පශ්චාත් ඵල ආදිය පිළිබඳ විමර්ශනය කෙරෙන සායනික පර්යේෂණ මේ දක්වා ම ලෝකයේ සිදුවී නොමැති බැවිනි.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, රත්මලාන,

Loading...