web counter
Loading...

පිරිමින්ට වඩා කාන්තාවන් ජලය පානයට අවධානය යොමුකළ යුතුයි

Loading...

මිහිපිට වාසය කරන සෑම ජීවියෙකුටම ජීවත්වීම සඳහා අත්‍යවශ්‍යම සාධකයක්‌ වන ජලය අපට ඉතාම වැදගත්. අපේ ශරීරයෙන් 70% ක්‌ ජලය බව අප දන්නා කරුණක්‌. කාන්තාවන්ගේ ශරීරය විවිධ අවධීන් වල විවිධ වෙනස්‌කම් වලට ලක්‌වෙනවා. එවැනි හේතූන් නිසා කාන්තාවන් තම ශරීරයට ඇති ජලයේ අවශ්‍යතාවය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි.

වර්තමානයේ බොහෝ කාන්තාවන්ට පවතින ගැටලුවක්‌ වන්නේ තම ශරීර උෂ්ණත්වය වැඩිවීමයි. එහිදී විශේෂයෙන්ම දරුවන් පිළිසිඳ ගැනීමේදී ගැටලු ඇති වීමට ඉඩ තියෙනවා. මේ තත්ත්වය මගහරවා ගැනීමට වැඩිපුර ජලය පානය කිරීම මගින් ශරීරය සිසිල්ව තබා ගැනීම යෝග්‍ය වේ.

කෙනෙකුට පිපාසයක්‌ ඇතිවන්නේ ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය අඩුවූ විටයි. එසේ පිපාසයක්‌ දැනෙන තෙක්‌ ජලය පානය නොකිරීම සිරුරට අහිතකරයි. පැය 2 කට වරක්‌ වතුර වීදුරුවක්‌ පානය කිරීමට පුරුදු විය යුතුයි. අප පුරුදුව සිටින්නේ ආහාර ගැනීමෙන් පසු ජලය පානය කිරීමටයි. නමුත් එය නිවැරදි ක්‍රමය නොවේ. කෑමට ටික වේලාවකට පෙර ජලය පානය කළ යුතුයි. ආහාර ගැනීමෙන් පසු එතරම් ජලය පානය කිරීම යෝග්‍ය නොවේ.

එමෙන්ම නින්දට යාමට පෙර ජලය පානය කිරීමද උචිත නොවේ.

පුද්ගලයකුගේ අස්‌ථිවල 25% ක්‌ම ජලය පවතින හේතුවෙන් අස්‌ථිවල ක්‍රියාකාරිත්වයට ජලය ඉතාමත් වැදගත් වේ. එසේ සැළකිලිමත් නොවීම හේතුවෙන් කාන්තාවන්ට වයසට යාමේදී ඇතිවන අස්‌ථි රෝග අවදානම වැඩිවී තිබෙනවා. දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2 1/2 ක්‌ වන් පානය කළයුතු අතර ඊට අමතරව කැඳ වර්ග, කැල්සියම් අඩංගු කිරි වර්ගද පානය කිරීම මගින් අස්‌ථි රෝග වැළඳීමේ අවදානම අවම කරගත ඇති වෙනවා.

කාන්තා සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවලින්ට මෙන්ම හිසකෙස්‌වල, නිය හා සමේ නිරෝගිභාවයටද ජලය අත්‍යවශ්‍යයයි. සම රැලි වැටීම වලක්‌වා දිදුලන නිරෝගී දීප්තිමත් සමක්‌ පවත්වා ගැනීමට තෙතමනය දෙන ආලේපන වර්ග ගැල්වීමට වඩා අභ්‍යන්තරයෙන් ලබාදෙන පෝෂණය ඉතා වැදගත් වෙයි.

යොවුන් වියේදී තරුණියකගේ ශරීරය ඇතුළතින් මෙන්ම බාහිරින්ද විවිධ වෙනස්‌කම් වලට ලක්‌වෙනවා. ඒ වගේම මනසත් වෙනස්‌ වීම් වලට ලක්‌වෙනවා. මෙම ක්‍රියාවලින් සමඟ ශරීරය නිරෝගීව තබා ගැනීමට ජලය පානය කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්‌.

නිතරම රූප ශෝභාව ගැන උනන්දු වන කාන්තාවන්ට තමන්ගේ තරුණ බව, සමේ තෙතමනය හා පැහැපත් බව රැකගැනීමට මෙන්ම නිරෝගී බව රැකගැනීමට හැකි වැදගත්ම ක්‍රමය ජලය වැඩිපුර පානය කරමින් ශරීරයේ සිසිල් බව ආරක්‍ෂා කරගැනීම බව සිතිය යුතුයි.

රසාංගනී හේරත්

Loading...