web counter
Loading...

නිවසේ ඇති කරන බල්ලන් ගැන දැනගත යුතු කරුණු

Loading...

අපගේ නිවෙස්‌හි ඇති කරන සතුන් අතර බල්ලාට ඇත්තේ ප්‍රමුඛ ස්‌ථානයකි. සුරතලයටත්, නිවසේ ආරක්‍ෂාවටත් ලෙසින් අප බල්ලන් ඇති කරන්නෙමු. බල්ලාට කථා බහකළ නොහැකි වූවත් එම සතාටත් බොහෝ හැඟීම් දැනීම් පවතී. එබැවින් නිවසේ ඇතිකරන බල්ලා ගැන අප යම් අවබෝධයක්‌ ලබාගැනීම වැදගත්ය.

වෛද්‍යතුමියනි, නිවසක ඇතිකිරීම සඳහා බලු පැටවකු රැගෙන ඒමේදී අවධානය යොමුකළ යුතු කරුණු මොනවාද?

මුලින්ම අප අවධානය යොමුකළ යුත්තේ බලු පැටවා අප නිවසට රැගෙන එන්නේ කුමන අවශ්‍යතාවයක්‌ සඳහා දැයි කියාය.

බොහෝ දෙනා බලු පැටවකු ඉතා කුඩා ප්‍රමාණයෙන් දුටුවිට එම පැටවා ගැන ආශාවක්‌ ඇතිකරගන්නවා. එම ආශාව නිසා සුරතලයට ඇති කරන්න කියා රැගෙන එනවා. හැබැයි එම සතා ලොකුවෙන කොට මුලින් පැවතී හුරුබුහුටි බව අඩුවී යන විට සුරතලයට වඩා එම සතාගෙන් බලාපොරොත්තුවන්නේ නිවසේ ආරක්‍ෂාවයි. එවිට එම සතාට මුලින් තිබූ ආදරයත් අඩුවෙනවා.

තවත් පිරිසක්‌ තමාගේ පෞද්ගලික ජීවිතයේ පවතින පාලුව තනිකම නැතිකර ගැනීම සඳහා සුරතලයට බල්ලන් ඇතිකරනවා. එම සතා මියයන තුරුම ආදරයෙන් සුරතල් සතකු ලෙස හදා ගන්නවා.

නිවසේ ආරක්‍ෂාව මූලික කරගෙනම බල්ලන් ඇතිකිරීම සඳහාත් තව පිරිසක්‌ යොමුවෙනවා.

එනිසා අප බල්ලකු නිවසට රැගෙන ඒමට පෙර අපගේ අවශ්‍යතාවය කුමක්‌දැයි කියා නිවැරදි අවබෝධයක්‌ ඇතිකරගත යුතුයි.

එහෙම නොවුණහොත් සිදුවන්නේ එම සතා නිවස තුළදී හිංසා පීඩාවට ලක්‌වීමයි. එවිට එම සතුන් දැඩි ලෙස මානසික පීඩනයට පත්වෙනවා.

මෙම මානසික පීඩනය නිසා ඔවුන් කිසිවකුට කීකරු නැතිවෙනවා. තමුන්ගේ ඇඟට අත තබන ඕනෑම අයකු සපාකන්න යොමුවෙනවා. තැන තැන මල මුත්‍රා කරමින් තමා තුළ ඇති විරෝධය පානවා.

* සුරතලයට ඇති කරන බල්ලන්

සුරතලයට ඇති කරන බල්ලන් වර්ග රැසක්‌ සිටිනවා. මෙම බොහෝ සතුන් කිලෝ ග්‍රෑම් 10-15 ට වඩා බර අඩුයි. ශරීර ප්‍රමාණයෙන්ද කුඩාය. මේ අතර ශරීරය විශාල වර්ගද සිටිනවා.

සුරතලයට ඇති කරන බල්ලන් වර්ග අතර පොමනේරියන්, ඩෑෂ් හවුන්ඩ් බොහෝදෙනා අතර ජනප්‍රියයි.

* සුරතලයට සහ නිවසේ ආරක්‍ෂාව සඳහා

ඇති කරන බල්ලන්

අප බොහෝදෙනා නිවසේ බල්ලන් ඇතිකිරීමේ ප්‍රධාන අරමුණ කරගෙන සිටින්නේ සුරතලයත් නිවසේ ආරක්‍ෂාවත් දෙකම ලබාගැනීමයි.

ඒ සඳහාද විවිධ වර්ග රැසක බල්ලන් සිටිනවා. එම වර්ග අතරින් රොට්‌ වයිලර්, ඩ්‍රබර්මාන්, බොක්‌සර්, ජර්මන් ෂෙපඩ් වර්ගයේ බල්ලන් අප රටේ බොහෝදෙනා ඇතිකරනවා.

* ආරක්‍ෂාව සඳහා ඇතිකරන බල්ලන්

නිවසේ ආරක්‍ෂාව සඳහා ඇතිකරන බල්ලන් ද වර්ග රැසක්‌ සිටිනවා. ඒ අතර රොට්‌ වයිලර් වර්ගයේ බල්ලන් නිවසේ එක්‌ අයකුට පමණක්‌ කීකරු බවක්‌ දක්‌වනවා. තම ස්‌වාමියාට පමණක්‌ කීකරු බල්ලන් ලෙස ඔවුන් හඳුන්වනවා.

වෛද්‍යතුමියනි, අප රටේ බොහෝ ජනප්‍රිය වර්ගයක්‌ ලෙස සලකන්නේ වල් බල්ලන්ය. මෙම වර්ගයේ බල්ලන් නිවසේ ඇතිකිරීම සුදුසුද?

ඇත්තටම වල් බල්ලන් කියන්නේ අපේ රටේ පරිසරයට අනුවර්තනය වූ වර්ගයකි. මෙම සතුන් පරයා වර්ගයට අයත් බල්ලන් (Pariah Dog) ලෙස හඳුන්වනවා.

මෙම වර්ගයේ බල්ලන් අප එදිනෙදා ගන්නා ආහාර වර්ග ගැනීමට හුරුවී සිටිනවා. සාමාන්‍යයෙන් බල්ලන් මාංශ වර්ග අනුභවයට වැඩි කැමැත්තක්‌ සහිතයි. නමුත් පරයා කියන වර්ගයට අයත් බල්ලන් බත්, පාන් ආදිය ආහාරයට ගැනීමට හුරුවී සිටිනවා. ඔවුන් ලෙඩ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාවෙනුත් ඉහළයි.

වෛද්‍යතුමියනි, අපට වඩාත් සුදුසු වර්ගය ලෙස සැලකිය හැක්‌කේ කුමන වර්ගයේ බල්ලන්ද?

එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වෙනවා. පළමුව අප බල්ලකු නිවසට රැගෙන ඒමේදී තීරණය කළ යුත්තේ එම සතා තමාට නඩත්තු කළහැකිදැයි කියාය.

පරයා වර්ගය හැර අනෙක්‌ සෑම වර්ගයකම බල්ලන්ට දියයුතු ආහාර වර්ග තිබෙනවා. එම ආහාර අපට දිනපතාම ලබාදිය හැකිද කියා සිතා බැලිය යුතුයි.

බල්ලාටත් නිදහස අවශ්‍යයි. කූඩුවක පැය 24 පුරා සිරකර හෝ දම්වැලකින් බැඳ තබන්න හොඳ නැහැ. දුවන්න, ඇවිදින්න අවශ්‍යයි. එවිට තමයි එම සතාගේ ශරීරය හොඳින් ක්‍රියාකරන්නෙ. ඉතිං ඒ සඳහා ඉඩකඩ තිබෙනවාද කියා අවධානය යොමුකළ යුතුයි.

ඒවගේම තමයි බලු පැටවකු අප නිවසට රැගෙන එනවිට එම පැටවාගේ වයස සති 06 ක්‌වත් ඉක්‌මවා තිබිය යුතුයි. එවැනි වයසක සතකු ඝණ ආහාර ගනු ලබනවා. අලුත් පරිසරයට හුරුකරගත හැකියි.

කුමන වර්ගයේ බලු පැටවකු නිවසට රැගෙන එනු ලැබූවත් එම සතාට මුලින්ම ලබාදිය යුතු ප්‍රධාන එන්නත් වර්ග තුනක්‌ තිබෙනවා. ජලභීතිකා, පාවෝ සහ ඩිස්‌ටෙම්පර් යන එන්නත් තුන ලබාදිය යුතුයි. මෙම එන්නත මුල්අවස්‌ථාවේදී දෙවරක්‌ ලබාදෙනවා. එසේ වූ විට තමයි එම සතාට ඉන් ප්‍රතිශක්‌තිය ලැබෙන්නෙ. ඉන් පසු වාර්ෂිකව හෝ පශු වෛද්‍යවරයාගේ උපදෙස්‌ මත ලබාදිය යුතුයි.

වෛද්‍යතුමියනි, බල්ලකුගේ වයස හඳුනාගන්නේ කෙසේද?

මෙය ඉතාමත් වැදගත් කටයුත්තකි. බල්ලකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් වසර 10 ක්‌ 15 ක්‌ වෙනවා. ඒ අතර එම බල්ලා අයත් වර්ගය අනුවත් එය තීරණය වෙනවා.

එනිසා මෙම සතුන් ඉතා ඉක්‌මනින් වර්ධනය වෙනවා. එය මනුෂ්‍යයකුගේ වයස හා සමාන කිරීමට පහත වගුව උපකාරී කරගත හැකියි. 

ඉහත වගුව අනුව අපට බල්ලාගේ වයස අනුව එම සතාගේ ක්‍රියාකාරකම් හඳුනාගත හැකියි. වයස අවුරුද්දක බල්ලකු යනු වයස අවුරුදු 15 ක පමණ තරුණ දරුවකු හා සමානයි. එවිට එම සතාගේ ක්‍රියාකාරකම් සහ අවශ්‍යතා හඳුනාගත හැකියි.

* කිරිබත්ගොඩ සත්ත්ව
සායනයෙහි පශු වෛද්‍ය
චින්තා පොන්වීර

Loading...