web counter
Loading...

නැළැවිලි ගීයෙන් බැඳ තබන මවුපිය දූ දරු සෙනෙහස

Loading...

නැළවිලි ගීතයක තිබෙන්නාවූ ලයාදර බව, ආදරය, සෙනෙහස, ගාම්භීරත්වය මෙන්ම අපේකම යන සිතුවිලි හමුවේ ළදරු මනසට ඇතුළු වන චිත්‍රය සැබැවින්ම දරුවන්ගේ වැඩීමට හොඳ මානසික රුකුලක්‌ ලබාදෙන බව තතු දත්තෝ පෙන්වා දෙති.

දරුවන් මවුපියන්ගෙන් ඈත් වී ඔවුන්ගේ ලෝකවල ජීවත් වන බවට වර්තමාන මවුපියෝ චෝදනා නඟති. එහෙත් එම චෝදනාව කෙතරම් දුරට සාධාරණදැයි සිතා බැලීමේදී එහි වරද මවුපියන් අතම බව පැවැසීම වරදක්‌ නොවන බව පෙනේ.

මනෝ විද්‍යාඥයන් පවසන්නේ දරුවා ඉගෙනීම ආරම්භ කරන්නේ මවු කුස තුළදී බවයි. එය එසේ වන නිසාවෙන් අම්මා විසින් දරුවාට පාඩම් කියාදීම ආරම්භ කළ යුතු වන්නේ මවුකුස තුළදීම බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. එම පාඩම ආදරය, කරුණාව, දයාව මුසුවීමෙන් ආරම්භ විය යුතු වෙයි.

වර්තමානයේ තාක්‍ෂණයේ දියුණුවත් සමග මනෝ විද්‍යාඥයන්, මනෝ චිකිත්සකයන් එසේ පැවසුවද අතීතයේ මුතුන් මිත්තන් ඒ පිළිබඳව දැන සිටි අයුරුත් සමාජය හමුවේ අසන්නට ලැබේ. එදා ගෙදරක දරුවෙක්‌ ලැබෙන්න සිටි මව සුවිශේෂී වූයේ ඒ නිසාම බව පෙනේ. මවගේ මානසික සුවය වෙනුවෙන් වෙහෙසුණු වැඩිහිටියෝ පන්සිල් සමාදන් වීමේදී එය දෙවරක්‌ සමාදන් විය යුතු බවට පැවසුයේ දරුවා වෙනුවෙන් එහි අවශ්‍යතාවය වටහාගෙන සිsටි නිසාවෙනි. එනම් මව දරුවා සමග කෙතරම් සම්බන්ධතාවයක්‌ ගොඩනඟා ගත යුතු දැයි දැන සිටි ඔවුන් විද්‍යාවෙන් ඒ බව කියා දීමට ප්‍රථම සමාජ අත්දැකීමෙන් එය හඳුනාගෙන සිටීම කායික මානසික ශක්‌තියෙන් පිරිපුන් දරුවෙකු වෙනුවෙන් ඉවහල් වූ බවක්‌ පෙනේ.

කුස තුළ වැඩෙන දරුවා වෙනුවෙන් මවුපිය වගකීම සහ කැපවීම විද්‍යාව අනුව පහදා දුන්නද ඒ අනුව කටයුතු කිරීමට අද මවුවරුන්ට නොහැකිවී තිබෙන්නේ කාර්ය බහුල ජීවිතයක අතරමංවී ඇති නිසාම වුවත් එය එසේ වීම තුළ ඇතිවී තිබෙන සමාජ ප්‍රශ්න සුළුපටු නොවන බව පෙනේ. එයින් ප්‍රධානම ප්‍රශ්නය මවුපියන් සහ දූ දරුවන් ඈත්වීම ලෙසට පෙන්වා දීමේ හැකියාව තිබේ.

කුසතුළ වැඩෙන දරුවා සමග කතා බහ කිරීම කෙසේ වුවත් දරුවා බිහිවීමෙන් පසු දරුවා නැළවීමට නැළවිලි ගීතයක්‌ ගැයීමට පවා අද මවුවරුන්ට වේලාවක්‌ නොමැති සෙයකි. ඇතැම් තැනෙකදී වේලාවක්‌ නොමැතිද, නැතිනම් නූතනයේ තරුණ මවුවරුන්ට එහි ඕනෑ කමක්‌ නැතිදැයි යන ප්‍රශ්නය මතුවන බවක්‌ පෙනේ. නූතනයේ ආච්චි අම්මලා ද කාර්ය බහුල ජීවිත ගත කිරීම තුළ මුණුබුරු මිනිබිරියන්ට නැළවිලි ගී ගායනයට නොහැකි තැන් මෙන්ම කුඩා පවුල් ලෙස වෙනම ජීවත් වීම තුළ දරුවන් මවුපියන්ගෙන් ඈත් වීමේදී මුණුබුරු මිනිබිරියන්ට ආච්චි අම්මලා සීයලාගේ සෙනෙහස ඈත් වී ඇති අයුරුක්‌ද සමාජය හමුවේ තිබේ.

නැළවිලි ගීතයක තිබෙන්නාවූ ලයාදර බව, ආදරය, සෙනෙහස, ගාම්භීරත්වය මෙන්ම අපේකම යන සිතුවිලි හමුවේ ළදරු මනසට ඇතුළු වන චිත්‍රය සැබැවින්ම දරුවන්ගේ වැඩීමට හොඳ මානසික රුකුලක්‌ ලබාදෙන බව තතු දත්තෝ පෙන්වා දෙති.

කරුණු කාරණා එලෙසින් වන නිසාම දරු නැළවිලි ගීතයක ඇති වැදගත්කම අපට ඈත්කර දැමිය නොහැකි බව අවබෝධකර ගතයුතු කරුණක්‌ වේ. එහි වටිනාකම ඉතා ඉහළ බව පෙනේ.

අද බොහෝ දරුවන් නැළවෙන්නේ ජංගම දුරකථනයක්‌ අතේ තබාගෙන එයින් නිකුත් වන සංගීතයට සවන් යොමමින් බව, අපේ මුතුන් මිත්තන් දන්නේනම් සැබැවින්ම ඔවුන් කණගාටුවට දුකට පත්වන්නේ මිය යැම සතුටක්‌ බව පෙන්වා දෙමින් වීමට බැරි නැත.

ජීවිතය තුළ ජංගම දුරකථනයට මූලික තැනදී ඇති සමාජයක ජංගම දුරකථනය දරුවාගේ පළමු පියවරේදීම එනම් දරුවා නිදිකරවීමට, ඇතැම් මවුවරුන් යොදා ගන්නා මෙවලමක්‌ වී තිබීමේදී සමාජයේ මවුපිය දූ දරු සබඳතා තවදුරටත් රැඳී තිබෙන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට අමුතුවෙන් සිතා ලතැවිය යුතු නොවේ.

වසන්තා ශ්‍රියාකාන්ති

Loading...