web counter
Loading...

දුටු පමණින් පිරිමියකු ආදරයෙන් මත් කරන්න ඇවිදීමේ රටාවට පුළුවන්

Loading...

ඇවිදීමද එක්තරා ආකාරයක කලාවකි. පිරිමියෙකුට වඩා එම කලාව වැදගත් වන්නේ කාන්තාවකටයි. සොඳුරු අඟ පසඟින්යුතු ලලනා රුවේ ලාලිත්‍යය නැතහොත් නාරි ලාලිත්‍යය ඉස්මතු වන්නේ ඇගේ මේ ඇවිදීමේ රටාව නිසයි. දුටු පමණින් කාන්තාවක කෙරෙහි ආකර්ෂණයක් ඇතිවීමට මුල්වන එක් ප‍්‍රධානම හේතුවක් වන්නේ ඇවිදීමේදී ඇය අනුගමනය කරන රටාවයි. ඒ අනුව ඇය වෙතින් වෑහෙන නාරි ලාලිත්‍යත්, ප‍්‍රදර්ශනය කෙරෙන පෞරුෂය හා ප‍්‍රතිරූපයත්ය. විද්‍යාඥයන් පවසන ආකාරයට කාන්තාවන්ටම අනන්‍ය වූ දුටුවන් වසඟ කරවන ආකාරයේ ගමන් විලාසයක්, මානව පරිණාම වංශකතාවේ ආරම්භයේ සිටම කාන්තාවන්ට ලැබී තිබෙන්නේ විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීමටයි. ස්ත‍්‍රියක ඇවිදීමේදී අනුගමනය කරන අඟර දඟර ස්වභාවය එය නරඹන්නා කෙරෙහි කෙතරම් ප‍්‍රබල බලපෑමක් ඇති කරන්නේදයත් අඩි විස්සක දුරින් සිටින්නෙකුට පවා ඇය කෙරෙහි ආකර්ෂණයක් ඇති කිරීමට එය ප‍්‍රමාණවත් බව අද වනවිට විද්‍යාත්මකවත් ඔප්පුවී තිබෙන සත්‍යයක්.

දුටු පමණින් කාන්තාවක හා ආලයෙන් වෙළීමට පිරිමියකු පොළඹවන්නා වූ එක් ප‍්‍රමුඛතම සාධකයක් වන්නේ ඇගේ ඇවිදීමේ රටාව බව ඔප්පු කරන්න හොඳම නිදසුන අපට හමුවන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලෙනි. විවාදයකින් තොරවම බි‍්‍රතාන්‍යය රජ පවුලේ ජනප‍්‍රියම අඹුසැමි යුවළ වන කේම්බ්‍රිජ් ආදිපාදවරයා හා ආදපාදවරිය නොහොත් අප කවුරුත් හොඳින් දන්නා විලියම් කුමරු හා කේට් කුමරියගේ ආදර අන්දරයේ මුල්ම ගිනි සිළුව දැල්වෙන්නේ කේට් මිඩ්ල්ටන් නිරූපණ වේදිකාවක් මතින් ඇවිදයමින් විලාසිතා ඉදිරිපත් කළ අවස්ථාවකදීයි. නොයෙක්වර දැක තිබුණත් විලියම් කුමරුගේ සිත නොසැලෙන තිර පෙමකින් කේට් කෙරෙහි එකහෙළා බැඳුණේ ඔවුන් දෙදෙනාම එකල අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාලය විසින් පැවැත්වුණු විලාසිතා සංදර්ශනයකදී කේට් වේදිකාව මතින් ඔහු ඉදිරියට ඇවිද ආ අවස්ථාවේදීය. විලාසිතා දැක්ම සඳහා ඇය හැඳ සිටි දුහුල් ගවොම ඊට එක් හේතුවක් විය හැකි නමුත් ඇගේ ආකර්ෂණීය ඇවිදීමේ රටාව, කුමරුව වසඟයට ගත් ප‍්‍රධානම සාධකය විය. ප්‍රේක්ෂකාගාරයේ වේදිකාව අසලම ඉදිරි පේළියේ හිඳිමින් කේට් දෙස ඇසිපිය නොහෙළා බලා සිටි විලියම් කුමරුට ඇය වෙතින් දෑස් ඉවත් කර ගැනීමට නොහැකිවූ බව ඔහුගේ මිතුරන් පසුව පවසා තිබිණි. ඒ පිරිමියකු වසඟයට ගැනීමට කාන්තාවකගේ ඇවිදීමේ ලාලිත්‍යයට ඇති අසමසම හැකියාවේ තරමයි.
කාන්තා ගමන් විලාස විවිධාකාරයි. සමාජය තුළ කැපී පෙනීමටත්, අන් අයගේ අවධානය හා ආකර්ෂනය දිනා ගැනීමටත් කාන්තාවක ඇවිදිය යුතු ආකාරය සම්බන්ධයෙන් කලින් කලට විවිධ මත ගොඩනැගීමට බෙහෙවින් දායකත්වය ලබා දෙන්නෝ සිටිති. ඒ මෝස්තර නිරූපිකාවන්, රංගන ශිල්පිනියන් හා සුපිරි පෙලැන්තියේ කාන්තාවන්ය. රතු පලස මතදීත්, මෝස්තර නිරූපණ වේදිකාව මතදීත් මෙම කාන්තාවන් තම සුන්දරත්වය ප‍්‍රදර්ශනය කිරීමට කාලෙන් කාලෙට අලුත්වන රැල්ලට අනුගමනය කරන ගමන් විලාස පොදුජන කාන්තා ප‍්‍රජාව අතර මුල්බැස ගන්නේ එය කාන්තාවකට ඇවිදීමට වඩාත්ම සුදුසු ගමන් විලාසය ලෙසට පිළිගැනීමක් ගොඩනගමිනුයි. ඒ අතරින් ‘කැට්වෝක්’ නොහොත් බළලෙකු පාද තබන ආකාරයට පාද තබමින් ඇවිදීමේ විලාසිතාවට හිමි වන්නේ මුල් තැනකි. මෙහිදී පාද තැබෙන්නේ හරියටම බළලෙකු ඇවිදින ආකාරය අනුගමනය කරමින්, එක් පයක් තබා හරියටම ඊට ඉදිරියෙන් සෘජු රේඛාවක පිහිටන සේ අනෙක් පාදය තබමිනුයි. මෑතකාලයේදී මෙම ප‍්‍රාථමික මට්ටමේ ඇවිදීමේ රටාවට තවත් අංග බොහෝමයක් එකතු කරමින් එය වඩාත් සංකීර්ණ තත්ත්වයකට ගෙනයනු ලැබුවේ ජාත්‍යන්තර කාන්තා විලාසිතා ක්ෂේත‍්‍රයේ අංක එකේ විලාසිතා නිර්මාණකරුවන් වන වික්ටෝරියා සීක‍්‍රට්ස්‘ හි නිරූපණ ශිල්පිනියන් වන මිරැන්ඩා කෙර්, රෝසි හන්ටින්ඩන් වීට්ලි හා ඇලිසැන්ඩ්‍රියා ඇම්බ්‍රෝසියා වැන්නවුන් විසිනුයි. ‘SFW’ රටාව ලෙස කෙටියෙන් හැඳින්වෙන මෙහිදී හිස හරි කෙළින් තබා ගනිමින්, උරහිස් පිටුපසට කොට කය සෘජුව තබා, ළැම ඉදිරියට යොමුවනසේ ඇවිදීම සිදුවන අතරවාරයේදී උකුලද ඊට සමගාමීව පැත්තෙන් පැත්තට වැනීම සිදුවෙයි. පාද සමඟ දෑත්ද නිදහසේ දෙපසට චලනයවත්දී සිරුරේ බර කේන්ද්‍රගත වන්නේ විළුඹ මතයි. එනම් වික්ටෝරියා සික‍්‍රට්ස් නිරූපිකාවන් මෙම ගමන තවත් හැඩකර ගැනීමට අනිවාර්යයෙන්ම පලඳින උස්අඩි පාවහන්වල සිහින් උස් අඩිය මතයි.
කාන්තා ඇවිදීමේ විලාසය ගැන කතා කිරීමේදී අමතක කළ නොහැකිම කරුණක් වන්නේ උස්අඩි සහිත පාවහන්ය. කාන්තාවක ලෙස මනා ආකර්ෂණීය පෞරුෂයක් සහිතව ලෝකය ඉදිරියේ බැබළීමට නම් ඇයගේ ඇවිදීමේ විලාශය සේම එම ගමන හැඩ කරන උස්අඩි සහිත පාවහන්ද අනිවාර්ය සාධකයකි. හැට හැත්තෑව දශකයන්හීදී හොලිවුඩයට පෑයූ නිළි රැජිනක වන සුරූපී මැරිලීන් මොන්රෝ එය හොඳින් දැන සිටියාය. ‘‘කෙල්ලෙකුට හරියටම ගැළපෙන සපත්තු යුගල දුන්නොත් ඇයට ලෝකයම වුණත් පාලනය කරන්න පුළුවනි” කියා ඇය වරක් කියා තිබුණේ ඒ නිසාය. ‘හරියටම ගැළපෙන සපත්තු’ යනුවෙන් මෙහිදී ඇය අදහස් කළේ උස් අඩි පාවහන් බව අමුතුවෙන් කිව යුතු නැත. ඔබ දෙස බලන අයෙකුට නැවත වරක් හැරී බලන්නට පොළඹවන ආකාරයේ ආකර්ෂනීය ස්වභාවයකින් ඇවිදීමට නම් උස් අඩි පාවහන් පැලඳි දෙපා තැබිය යුතු වන්නේ කාන්තාවක ලෙස ඔබ සාමාන්‍යයෙන් ඇවිදිනවාට වඩා පියවර අතර දුර කෙටි වන පරිදිය. එහිදී පාද තැබීමේදී පළමුව පොළොව හා ගැටිය යුත්තේ උස් අඩියයි. එසේම ඇවිදීමේදී දෙපා දෙස බලමින් නොව ඔබ යා යුතු ස්ථානය දෙස එක එල්ලේ ඉදිරිය බලමින් ඇවිදීම මගින්, කාන්තාවක වෙතින් වඩාත් විශ්වසනීය බවක් පළවීමට හේතු වේ.

සාමාන්‍යයෙන් කාන්තාවකගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ සාපේක්ෂව පහළිනි. ඇය ඇවිදීමේදී උකුල දෙපසට පැද්දීමට මෙයද එක් හේතුවක් වුවත්, උස් අඩි සහිත පාවහන් පැලඳීම මඟින් මෙහි ලාලිත්‍යය හා
ස්වභාවිකත්වය වඩාත් ඔප්නංවා ගත හැක. මේ නිසා කාන්තා ඔබ අන් අයගේ අවධානය හිමිකර ගනිමින් සමාජයේ කැපී පෙනෙන සේ ඇවිදීමට නම්, ජීවත්ව සිටියදී මෙන්ම මියගොස් දශක ගණනාවකට පසු තවමත් ජනප‍්‍රියත්වයේ හිණිපෙත්තෙහි සිටින මැරිලීන් මොන්රෝගේ උපදෙස් සිහියේ තබා ගැනීම උචිතය.
කාන්තාවක ලෙස නාරි ලාලිත්‍යය ඉස්මතු වනසේ ඇවිදිය යුතු ආකාරයත් විලාසිතා මෙන්ම කලින් කලට කාලයේ රැල්ල අනුව වෙනස් වන්නකි. මෙහිදී මුලින්ම සිහියට එන්නේ දහනවවන සියවසේ අගභාගයේදී විලාසිතා ලොව ආක‍්‍රමණය කළ ‘සෞන්දර්ය’ (Aesthetic) නැමැති ඇවිදීමේ රටාවයි. ඇවිදීමේදී පියවර ගැස්සෙමින්, උකුල පිටුපසට විසිවෙමිනුත්, පිට කොන්ද 45° න් ඉදිරියට දිගුව දැඩිව තබා ගනිමින් හා නිකට හා ගෙල ඉහළට ඔසවා තබා ගනිමින් ඇවිදීමේ මෙම පය පැටලවෙන රටාවට වැඩි ආයුෂ තිබුණේ නැත. ඒ එය එතරම්ම දුෂ්කරවූ නිසාය. එලෙස ඇවිදින කාන්තාවක අද පරපුර දුටුවා නම් හාස්‍යයට ලක්වීමටද ඉඩ ඇති තරමේ විකාර ස්වරූපයක් පළ කළ බව ඇමරිකාවේ අයෝවා ප‍්‍රාන්තයේ ‘ලියෝන් වීක්ලි මිරර්’ පුවත්පත වරක් සඳහන්කොට තිබිණි. කෙසේවුවද ඉන් කලාත්මක ලෙස ඇවිදීමට කාන්තාවන් අතර හටගත් උන්මාදයට ලැබුණේ කදිම දිරිගැන්වීමකි. මේ නිසා The Aesthetic ගමන් විලාසය අභාවයට ගියද එහි උණුසුම පහව යන්නටත් මත්තෙන් ඊට වඩා සරල ‘නිව් මාකට් මාච්’ ඇවිදීමේ රටාව කරළියට පැමිණියේය. එකල පිරිමි පාර්ශ්වය අතර ප‍්‍රකට විලාසිතාවක්වූ නිව් මාකට් මාච් නැමැති උඩුකබාය ඇසුරින් නම් කළ මෙම ගමන් විලාසයේදී සිරුර උකුල දෙසින් මඳක් ඉදිරියට නැඹුරුව ඇවිදීම සිදුවූ අතර, උකුල ප‍්‍රදේශය පාර්ශ්වික ලෙස චලනයට ලක්වීමද ඊට සමගාමීව සිදු විය. සරල වුවත් මෙම ගමන් විලාසයත් කාන්තාවන් අතර එතරම් කාලයක් ජනප‍්‍රියතාව පවත්වා ගැනීමට සමත් වූයේ නැත. නමුත් විසිවන සියවසේ මුල දශකය වනවිට කාන්තාවන් අතර ඇවිදීමේ රටාවට කෙතරම් වැදගත්කමක් හිමිවූවාද යත් නාරි ලාලිත්‍යය මතුවන අයුරින් විවිධ ක‍්‍රමවලට ඇවිදින ආකාරය උගන්වන පාසල් පවා විවෘත වන්නට විය.
මේවායේ බලපෑමෙන් කලින් කලට Springy walk (උඩ පනින්නාක් මෙන් ඇවිදින ගමන) Baby Walk (ළදරුවෙකු මෙන් කුඩා පියවර තබමින් ඇවිදීම) ‘Athlete Stride’ (මලල ක‍්‍රීඩකයෙකු මෙන් වේගයෙන් පියවර තබමින් ඇවිදින ආකාරයකි) Glide Waltz (වෝල්ට්ස් නැටුමක මෙන් පැද්දෙමින් පියවර තබමින් ඇවිදින රටාවකි) වැනි විවිධ ආකාරයේ ඇවිදීමේ රටා කාන්තා පරපුර අතර ප‍්‍රචලිත වුවද, බහුතර පිරිසක් ආදරයෙන් වැලඳ ගත්තේ American Walk Swinging Walk හා piccadilly Walk යන මෙම ඇවිදීමේ කලා තුනයි. ලන්ඩන්, පැරිස් වැනි විලාසිතා සංදර්ශනවලදී අදට ද බහුලව යොදා ගැනෙන්නේත්, කාන්තා රූප සෞන්දර්ය උපරිමයෙන් මතු කෙරෙන මෙම ඇවිදීමේ රටා තුනයි. නමුත් මේ සියලුම ඇවිදීමේ රටා අතර ‘ගිබ්සන් වෝක්’ නැමැති ඇවිදීමේ ශෛලියට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ගිබ්සන් රටාවෙන් ඇවිද ගොස්, ඉංග‍්‍රීසි ජාතික සාමිවරයෙකුගේ හදවත සොරාගත් තුරුණු ඇමරිකානු නිළියක ගැන ප‍්‍රකටව ඇති අපූරු කතාවක්ද මෙහිදී නොකියාම බැරිය.
ගිබ්සන් වෝකිං රටාව කාන්තා ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ ‘ගිබ්සන් ගර්ල්’ නැමැති චිත‍්‍රකතා චරිතයක් විසිනුයි. චාර්ල්ස් ඬේනා ගිබ්සන් නැමැති චිත‍්‍ර ශිල්පිනිය විසින් සිහින් ඉඟටියක් හා ලිහිල්ව ගෙලට සිටින සේ ගැටගසන ලද කෙස් වැටියක්ද සහිතව විලාසිතා ලෝකයට හඳුන්වා දුන් ‘ගිබ්සන් කෙල්ල’ එකල ඇමරිකානු රුවැත්තියන්ගේ සුන්දරත්වයේ සංකේතයක් බවට පත්වූවාය. ඇය විලාසිතා ලෝකය තුළ කළ පෙරළිය නිසාවෙන්ම සිතුවම්ගත ද්විමාන තලයෙන්, සජීවී ත‍්‍රිමාණ වේශයක් ගෙන විලාසිතා වේදිකාවට සම්ප‍්‍රාප්ත වුණේ ‘ගිබ්සන් වෝක්’ නමින් ඇයටම අනන්‍යවූ ඇවිදීමේ රටාවක්ද හඳුන්වා දෙමිනුයි. එලෙස ලන්ඩන් නුවර විලාසිතා දැක්මකදී එකල සිටි ප‍්‍රකට නිළියක වූ කැමිල් ක්ලිෆර්ඩ් ‘ගිබ්සන් කෙල්ල ලෙස වේදිකාව මත කෙතරම් තාත්වික ලෙස මෝස්තර නිරූපණයේ යෙදුණාද යත්, ඉන් වසඟ වූ ප්‍රේක්ෂකයන් අතර සිටි ඉංග‍්‍රීසි ජාතික සාමිවරයෙකු ඇයට සිය ප්‍රේමය පුද කළේ එය විවාහයක් දක්වා ගෙන යමිනුයි. එකල ජාත්‍යන්තර මාධ්‍ය විසින් අති මහත් ප‍්‍රසිද්ධියක් ලබාදුන් මෙම පුවතේදී කැමිල් ලැබූ ජයග‍්‍රහණයට හේතුව ලෙස ඔවුන් හුවා දැක්වූයේ දුටුවන්ගේ සිත් මන්මත් කිරීමට සමත් වූ ඇගේ ගිබ්සන් ඇවිදීමේ රටාවයි. 1906 වසරේදී සිදුවූ මෙම අපූරු සිද්ධිය ඉන් සියවසකටත් පසු බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි විලියම් කුමරු විලාසිතා දැක්මකදී කේට් කුමරිය හා පෙමින් වෙළීමේ සිද්ධිය හා ගළපා ගන්නට එතරම් අසීරු නැත. ඒ අවස්ථා දෙකේදීම රාජකීයත්වයේ හදවත කැලඹී ගියේ සොඳුරු යුවතියන් දෙදෙනෙකු වේදිකාව මත ඉදිරිපත් කළ ඇවිදීමේ ලලනා ලාලිත්‍යයයි.
පිරිමියකු වසඟයට ගැනීමට කාන්තාවකගේ ඇවිදීමේ විලාසය සතු හැකියාවේ ප‍්‍රබලත්වය සියවසකට පසුව වුවත් වෙනස්ව නැති බව ඔප්පු කිරීමට තවත් සාක්ෂි මොනවටද?
රුක්ලන්ති පෙරේරා

Loading...