web counter
Loading...

දසමහා යෝධයන් බිහිකළ දේශීය සහල් ගුණ

Loading...

වසරේ දින තුන්සිය හැටපහම නිවසේ මුළුතැන්ගෙයි සියලු දේ සොයා බලා ඉටුකරන කාන්තාවන් තම පවුලේ අයට ආහාර පිසීමේදී විවිධ කරුණු පිළිබඳ සැලකිලිමත් වේ. නිවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා බත් අනුභව කරති. තමන් ආහාරයට ගන්නා සහල් වර්ගය පිළිබඳ ගෘහණියන් සැලකිලිමත් වන්නේ ඉතාමත් අඩුවෙනි.

පාරම්පරික කෘෂිකාර්මික රටක්‌ වන ශ්‍රී ලංකාව තුළ ඇති දේශීය සහල් පිළිබඳ ගෘහණියන් දැනුවත් වීම අත්‍යවශ්‍ය කරුණකි. 1930 වර්ෂයේදී එච් ශ්‍රේණියේ වී වර්ග හඳුන්වාදීමත් සමඟ අස්‌වැන්න වැඩිකරගත හැකි රසායනික පොහොර වර්ග භාවිතය හඳුන්වාදී ඇත. මේ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික සහල් ප්‍රභේද වල ගුණාත්මකභාවය අඩුවීම සිදුවිය. මෙම අඩු මිලට වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් මිනිසුන්ගේ කායශක්‌තිය හා ආයුෂ පිළිබඳ ගැටලු මතුවී තිබීම වත්මන් තත්ත්වයයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නැවතත් පාරම්පරික සහල් කෙරෙහි ගෘහණියන්ගේ අවධානය යොමුවීමේ යම් ප්‍රවණතාවක්‌ දැකිය හැකියි.

පාරම්පරික සහල්වලට අයත් සහල් විශේෂ ගණනාවකි.

සුවදැල්

මෙය සුවඳ මෙන්ම රසයෙන්ද පෝෂණය වූ සහල් වර්ගයකි. සමේ වර්ණය රැක ගැනීමට සහ වර්ධනයට මෙන්ම කටහෙŒ ස්‌වභාවය වර්ධනයටද, බාර හාර ඔප්පු කිරීමේදී කිරි ආහාර, (කිරි දානය) සකස්‌ කිරීමටද, දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමටද, සමබර කායික වර්ධනයක්‌ ඇතිකර ගැනීම සඳහාද බෙහෙවින් උපකාරී වේ. ලංකාවේ දක්‍ෂිණ පහත් බිම්වල වගා කිරීම සිදුවන අතර විශාල ශ්‍රමයක්‌ මෙන්ම අස්‌වනු නෙළීමට වැඩි කාලයක්‌ වැයවේ.

කළු හීනටි

ඖෂධීය ගුණයන්ගෙන් ඉතා ඉහළ අගයක්‌ හිමි වන රතු සහල් වර්ගයකි. විශේෂයෙන්ම මෙය කැකුළු සහල් වර්ගයක්‌ වන අතර ගර්භණී හා කිරිදෙන මවුවරුන්ට දිනපතා ආහාරයට ගැනීම සුදුසු වේ. තන්තු බහුල සහල් වර්ගයක්‌ බැවින් ආහාර ජීර්ණ ක්‍රියාවලියේ පහසුව සඳහාත් කායික වර්ධනය සඳහාත් යෝග්‍ය වේ. දියවැඩියාව මෙන්ම උණ රෝග සඳහා ද සර්ප විෂ නැසීමටද කළු හීනටි සහල්වල විශේෂ හැකියාවක්‌ පවතී. කැඳ සාදා පානය කිරීමද ඉතාමත් ගුණදායකය.

කුරුලු තුඩ

ප්‍රොaටීන් හා මේදයන්ගෙන් පිරි ඉතා පෝෂ්‍යදායී මෙන්ම රසවත් රතු හාල් විශේෂයකි. පිත්තාෂයේ ක්‍රියාකාරිත්වය වර්ධනයට සහ පුරුෂ කාම ශක්‌තිය වැඩිකිරීමටත් විශේෂ හැකියාවක්‌ මෙම සහල් වර්ගයට පවතී. කුඩා දරුවන්ට ලබාදීම තුළින් ඔවුන්ගේ ශරීර ශක්‌තිය වර්ධනය කර ගැනීමට හැකියාව පවතී.

මඩතවාලු

ඉතා තද මෙන්ම රළු භාවයකින් යුත් රතු සහල් වර්ගයකි. ආයුර්වේද ප්‍රතිකාරවලදී ප්‍රතිශක්‌තිකරණය වඩා ශක්‌තිමත් ලෙස පවත්වා ගැනීමට ඉතා යෝග්‍ය වේ. ශරීර ශක්‌තිය අඩු රෝගීන් සඳහා මඩතවාලු කැඳ ලබාදීමද ඔවුන්ගේ ශක්‌ති ප්‍රමාණය වර්ධනය කර ගැනීමට උපකාරී වේ.

පච්චපෙරුමාල්

පාරම්පරික සිංහල සංස්‌කෘතිය තුළ දිව්‍යමය සහල් ලෙසින් විශේෂ ස්‌ථානයක්‌ හිමිවන මෙම සහල් බොහෝ විට දානමය කටයුතු සඳහා යොදාගනු ලබයි. ගුණය අතින් ඉතා ඉහළ වන අතර ප්‍රොaටීන් අතින් බහුල දිනපතා ආහාරයට ගැනීමට සුදුසු සහල් වර්ගයකි.

මා වී

තන්තු බහුල සහල් වර්ගයක්‌ බැවින් ශරීරයේ, ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. රතු දුඹුරු පැහැයට හුරු මෙම මා වී කාන්තාවන් අතර අතීතයේ සිට ඉතා ප්‍රසිද්ධ සහල් වර්ගයකි. ඉතාමත් සිහින් මෙන්ම හැඩැති සිරුරක්‌ පවත්වාගෙන යැමට උපකාරී වී ඇත. ශරීරයේ උෂ්ණාධික බවට මෙන්ම ක්‍ෂය රෝගයටද ගුණදායක බව පැරැන්නන්ගේ මතයයි.

එසේම මෙම සහල් වර්ගය දියවැඩියාව, මළබද්ධය, හෘද රෝග, තරබාරුකම සඳහා ඉතා යෝග්‍ය වේ. මෙහි ඇති දිව්‍යමය ගුණය නිසාම අතීත දාගැබ් වල කොත තුළ අඩංගු ධාතු කරඬුවේ මා වී තැන්පත් කරනු ලැබූ බව මුතුන්මිත්තන්ගේ ජනප්‍රවාද වල සඳහන් වේ.

රසාංගනී හේරත්

සංස්‌කරණය
වසන්තා ශ්‍රියාකාන්ති

Loading...