web counter
Loading...

දකුණෙ විදියට මාළු ඇඹුල් තියල් හදාගන්න හැටි

Loading...

දකුණ කිව්වම මතක් වෙන්නෙ මාළු ඇඹුල් තියල්. ඉතින් මාළු ඇඹුල් තියල් කිව්වත්, එක දවසක් හරි ඇඹුල් තියල් කාල තියන අයගෙ කටට කෙළ උනනවා. මේක ඇත්තටම හරිම පුදුමාකාර රසයක්. ඒ වගේම වෙනස්ම විදියට මාළු ඉවීමක් තමයි මෙහිදී වෙන්නෙ. මාළු කිව්වම උඩරට අය නම් හැම එකටම කියන්නෙ මාළු කියලා. අපි කියන්නෙ මේ දකුණෙ මාළු ගැන. ෆිෂ්… ෆිෂ්…. අහල තියෙනවා නේ.

ඉතින් අටුවා ටීකා ඕනෙ නෑ. ඇඹුල් තියල් හැදුවම ගෙදරම සුවඳයි. වැදගත් ම දේ මේක මාසයක් වුනත් තියාගන්න පුළුවන් ශීතකරණයේ නොදා. අපි බලමු මාළු ඇඹුල් තියල් හදන්නෙ කොහොමද කියලා. ගොඩක් දේවල් ඕන වෙන්නෙ නැහැ. හැමෝටම ඉතින් ගෙදර ගහේ ගොරකා නෑනෙ. කඩෙන් ගොරකා ගන්න. ගොරකා ගන්නකොට මිරිස් ගලක් නැති අය ගොරකා පවුඩර් එක ගන්න. මිරිස් ගල ගෙදර තියෙන අය සාමාන්‍ය ගොරකා ගන්න. එකක් කියන්න ඕනෙ කොච්චර ලේසි වුණත් ගොරක පවුඩර් එකෙන් නම් නියම ඇඹුල් තියල් ටේස්ට් එක එන්නෙ නැහැ. නියම ඇඹුල් තියල් ටේස්ට් එක එන්න නම් ගලේම අඹරන්න ඕනෙ.

මාළු ටික මුලින්ම සුද්ද කර ගන්න. වැඩියම හෝදන්න එපා. එතකොට මාළුවල ලේ ටික ඉවත්වෙලා නියම රසය නැතිවෙලා යනවා. ඊළඟට ඕනෙ කරනවා මැටි හට්ටියක්. මැටි හට්ටියේ අඩිය වැහෙන්නම කරපිංචා කොළ අතුරන්න. ඊට පස්සෙ කුරුඳු පොතු කෑලි කීපයක් ඒකට උඩින් දාන්න. හෝදලා ගත්ත මාළු ටික එකට එකක් නොගෑවෙන විදියට කරපිංචා කොළ මත අඩුක් කරන්න. ඒ කියන්නෙ පිළිවෙලට තියන්න. දැන් ගොරකා පේස්ට් එක හදාගන්න ඕනෙ. මාළු 500 කට විතර ගොරකා කුඩු පුරවලා මේස හැඳි 3, ගම්මිරිස් කුඩු පුරවලා මේස හැඳි 3 යි. ලුණු මේස හැඳි එකහා මාරක් විතර එකට දාලා වතුර අඬු කෝප්ප 3 ක් විතර දාලා හොඳට කලවම් කරලා මේ පේස්ට් එක හදාගන්න.

දැන් ඉතින් මාළු කෑලි සම්පූර්ණයෙන් වැහෙන්නම ගොරකා පේස්ට් එක පුරවන්න. ඒ කියන්නෙ හට්ටිය පුරවන්න කියන එක නෙවෙයි. දැන් සීසන් වෙන්න විනාඩි 15 ක් විතර තියෙන්නට හරින්න. දැන් ලිපේ තියලා මඳ ගින්නේ හිඳෙනකල් උයා ගන්න. ඇඹුල් තියල් නියම විදියට නම් අඩිය අල්ලනකල් හින්දවන්න ඕනෙ. සමාවෙන්න. මේ දේවල් ලියන්න වෙන්නෙත් දකුණෙ භාෂාවෙන්ම තමයි. ඇඹුල් තියල් නම් මොනවද ඉතින් ගෑවුණ තැන කන්න පුළුවන්. කිරිබත් එක්ක, ආප්ප එක්ක, පොල් රොටි එක්ක, ඉඳි ආප්ප එක්ක ඇත්තටම රසයි. සුවි‍ශේෂයි.

Loading...