web counter
Loading...

ඩෙංගු පිළිබඳව ඔබ දැනුවත්ද?

Loading...

ඩෙංගු වසංගතය හේතුවෙනි

1. ඩෙංගු රෝගය යනු කුමක්‌ද?

වෛරසයක්‌ මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීර ගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්‍ෂණ නොපෙන්වන අතර රෝග ලක්‍ෂණ මතුවුවහොත් එය.

* සාමාන්‍ය සුළු උණ තත්ත්වය

* ඩෙංගු උණ (Dengue Fever -DF)

* ඩෙංගු රක්‌තපාත උණ (Dengue Haemorrhagic Fever – DHF)

* අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්) විය හැකිය.

2. ඩෙංගු බෝවන්නේ කෙසේද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස්‌ වර්ගයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවනුයේ ඩෙංගු වෛරසය ශරීර ගත වූ පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙනි.

3. ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?

ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක්‌ පවතී. තවද පුද්ගලයෙකුගේ වයස හා ප්‍රතිශක්‌තිකරණය මත රෝගයේ ස්‌වභාවය වෙනස්‌ විය හැකිය.

4. උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම, රක්‌තපාත උණ (DHF) වැනි අවදානම් අවස්‌ථාවලද පත්විය හැකිය. මෙම අවදානම් අවස්‌ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසුවේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්‌මනින් සුව වන අතර අවදානම් අවස්‌ථාවල රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්‌ථා ඉක්‌මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ.

5. ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?

උණ සමඟ පහත රෝග ලක්‍ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කළ යුතුය.

* හිසරදය හා ඇස්‌ යට වේදනාව

* මස්‌පිඩු හා සන්ධි වේදනාව

* ඔක්‌කාරය හා වමනය

* සමෙහි රතු පැහැ ලප හට ගැනීම

* රුධිර වහනය තත්ත්වයන්

ඉහත රෝග ලක්‍ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම සැකය වඩාත් තහවුරු කිරීමට හේතුවේ.

6. ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්‌ථාවට පත්වන රෝගීන් ඉක්‌මනින් හඳුනා ගැනීමය. උදා- ඩෙංගු රක්‌තපාත උණ, ඒ සඳහා උණ සෑදී දින 2 කට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්‍ෂාව (FBC -Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්‍ෂාවන් මගින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්‌තපාත උණ (DHF) වෙන්කර හඳුනා ගත නොහැකිය.

7. ඩෙංගු රෝගය කිහිපවරක්‌ සෑදිය හැකිද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක්‌ ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක්‌ ගොදුරු වූ විට ප්‍රතිශක්‌තිය ඇති වනුයේ එම අදාළ ප්‍රභේදයට පමණක්‌ බැවින් ඔහුට නැවත අනිකුත් ප්‍රභේද මගින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක්‌ ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්‌තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්‌ථාවේ) තිබේ.

8. ඩෙංගු උණ වැළඳුන විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද?

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරීක්‍ෂාව කොට රෝගියා රෝහල් ගත කළයුතුද යන්න තීරණය කරනු ඇත.

9. ඩෙංගු රක්‌තපාත උණ (DHF) යනු කුමක්‌ද?

ඩෙංගු රක්‌තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්‌ථාවකි. උණත් සමඟ ඇතිවන අනිකුත් රෝග ලක්‍ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්‌තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන් ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයැමත් සමඟ ප්‍රධාන ලක්‍ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට (විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට) ප්ලාස්‌මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරීක්‍ෂාවල (FඊC) වෙනස්‌කම් මගින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්‌මාව කාන්දු වීම මගින් කම්පන අවස්‌ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීහු කම්පන අවස්‌ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‍ෂණ පෙන්නුම් කරති. එබැවින් මෙම අවදානම් ලක්‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.

10. අවදානම් ලක්‍ෂණ මොනවාද?

* උදරයේ ඇතිවන තද වේදනාව

* නොනවත්වා වමනය පැවතීම

* අධික නිදිමත බව/ නොසන්සුන් බව/ අප්‍රාණික බව

* රුධිර වහනය වීම (විදුරුමසෙන්, නහයෙන් දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහවීම)

* පැය 6 කට වඩා වැඩි කාලයක්‌ මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම.

11. අවදානම් ලක්‍ෂණ නොමැතිවද රෝහල් ගත විය යුතු පුද්ගලයින් කවුරුන්ද?

* ගර්භණී මව්වරුන්

* අවුරුදු 1 ට අඩු දරුවන්

* අධි බර සහිත රෝගීන්

* වැඩිහිටි පුද්ගලයින්

12. උණ ඇති විට කුමක්‌ කළ යුතුද?

* වෙහෙසකර කටයුතුවලින් බැහැරවී හොඳින් විවේක ගන්න

* උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න (උපරිම මාත්‍රාව 60mg/kg/24h වේ) තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම් ජලයෙන් පොගාවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කරන්න.

* වේදනා නාශක ඖෂධ Non Steroidal Anti Infammatory Drugs (NSAD) කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටෙරොයිඩ් (Steroids) භාවිතයෙන් වළකින්න

* සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ලබාගන්න

* උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක්‌ ප්‍රවේශම් වන්න.

13. උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර මොනවාද?

* උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න. තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනී වැනි මුඛ සජලන පානය (Oral Rehydration Solution – ORS) පලතුරු යුෂ වඩාත් සුදුසුය.

* රෝගියා කැමැති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක්‌ ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

* අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මලපහ (හඳුනා ගැනීමට අපහසු වන බැවින් රතු/දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වළකින්න.

14. උණ පවතින අවස්‌ථාවේ NSAID’S

භාවිතා නොකළ යුත්තේ ඇයි?

ඇස්‌පිරින් (Aspirine), මෙෆෙනෙමික්‌ ඇසිඩ් (Mefenemic acid) ඉබ්යුප්‍රොෆෙන් (Ibuprofen) ඩයික්‌ලොෆෙනැක්‌ (Dictofenac) වැනි Non Setoidal Anti Inflammatory Drugs ( NSA/Ds) කාණ්‌ඩයේ ඖෂධ/ස්‌ටෙරොයිඩ් (Steroids) භාවිතයෙන් ඩෙංගු නිසා ඇතිවන රුධිර වහනය වීමේ තත්ත්වයන් උග්‍ර විය හැකිය.

15. ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම් අවම වේ. ඩෙංගු රක්‌තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්‌ථාවලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්‌මාව අකර්මණ්‍ය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකූලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකියි.

16. ඩෙංගු රෝගය ඇති විට මදුරුවන් දෂ්ට කිරීමෙන් ආරක්‍ෂා විය යුතු වන්නේ ඇයි?

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගීයාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ නොපෙන්වයි. මෙම බිජෞෂන සමය දින 3-14 අතර කාලයක්‌ පවතී.

ඉන් පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2-10 අතර කාලයක්‌ පවතී. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළු වන අතර එමගින් වෙනත් පුද්ගලයින් තුළට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.

17. ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?

සාමාන්‍යයෙන් ඊඩිස්‌ මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කීපයක්‌ යන තුරුද, සවස්‌ කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුර දෂ්ට කිරීම සිදු කරයි. එබැවින් මෙම කාලය තුළ මදුරු දෂ්ටනවලින් ආරක්‍ෂා විය යුතුය.

18. ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන මොනවාද?

මිනිස්‌ ක්‍රියාකාරකම්වලින් ඇති වූ ඉවතලන ප්ලාස්‌ටික්‌, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහි පිහිලි වැනි ජලය රැඳෙන ස්‌ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තවද බ්‍රොමිලියා, අන්නාසි පත්‍ර අතරද, ගස්‌ බෙන වැනි ස්‌වභාවික ජලය රැඳෙන ස්‌ථානවලද ඩෙංගු මදුරුවන් බෝවේ. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවෙස්‌ ඇතුළත අඳුරු ස්‌ථානවල රැඳි සිටිය හැකිය.

19. මදුරු දෂ්ටනයෙන් වැළකෙන්නේ කෙසේද?

* අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුමින් සැරසෙන්න

* මදුරු දැලක්‌ යට විවේකීව සිටින්න

* මදුරු විකර්ෂක භාවිත කරන්න

උදා( පැ`ගිරි තෙල් හෝ කෘත්‍රිම විකර්ෂක

20. ඩෙංගු මදුරුවන් බෝවීම වළක්‌වන්නේ කෙසේද?

* භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්‌ටික්‌, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය කරන්න. අනිකුත් බඳුන් මදුරුවන් බෝනොවන ලෙස විනාශ කරන්න.

* වැහි පිහිලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න. වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න.

* වතුර එක්‌රැස්‌ වන ස්‌ථාන, ළිං සහ ටැංකිවලට මදුරුවන්ට ඇතුල්විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න.

* නිරන්තරයෙන්, සතියට වරක්‌ ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්‍ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන ඉවත් කරන්න.

ජාතික ඩෙංගු මර්දන ඒකකය

Loading...