web counter
Loading...

ගෙවත්තට ඔසු පැළයක් කරපිංචා

Loading...

ව්‍යංජන රසවත් කරන හා ඖෂධීය ගුණ මහිමයෙන් පිරි ශාකයක් ඇත්නම් ඒ කරපිංචා ශාකයයි. ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල බහුල වශයෙන් දැකීමට හැකි ශාකයකි. කරපිංචා විශේෂයෙන් වියළි කලාපවල බහුල වශයෙන් දැකීමට හැකිවේ. විශේෂිත සුවඳකින් හෙබි කරපිංචා මුළුතැන් ගෙයි විශේෂ තැනක් හිමිව ඇත. කරපිංචා වර්ග දෙකක් ඇත. එනම් වල් කරපිංචා හා ඖෂධ ගුණයෙන් හෙබි කරපිංචා යනුවෙනි. ජම්බීර් කුලයට අයත් (RUTACEAE ) කරපිංචා ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Murraya Koenigiispreng වේ.

කරපිංචා සහ වල් කරපිංචා යනුවෙන් වර්ග දෙකකි. බහුවාර්ෂික ශාකයකි. මීටර් 5ක්‌ පමණ උසට වැවේ. තනි ගස්‌ වශයෙන් හෝ පඳුරු වශයෙන් හෝ දක්‌නට ලැබේ. සංයුක්‌ත පත්‍ර වින්‍යාසයක්‌ හෙවත් පත්‍ර කිනිත්තක කුඩා පත්‍ර රාශියක්‌ හටගනී. කුඩා පත්‍රවල සියුම් රෝම දක්‌නට ලැබේ. පත්‍ර කඳ කොළ පැහැති ය. වල් කරපිංචා එතරම් සුවඳ නැතත් කරපිංචාවල සුවිශේෂී සුවඳක්‌ ඇත. කරපිංචා දලු රත් පැහැයෙන් යුක්‌ත ය. වල් කරපිංචා දළුවල එවන් පැහැයක්‌ දක්‌නට නැත. මල් පොකුරු අතු බෙදුණු ස්‌වභාවයක්‌ ගනී. කිනිති අග මල් හටගනී. මිහිරි සුවඳක්‌ ඇත. වසරේ දෙසැම්බර් හා අගෝස්‌තු යන මාසවල දී මල් හටගනී. මල් මෝරා ඇට හටගනී.
ඕනෑ ම ගෙවත්තක දෛනික ප්‍රයෝජනය සඳහාත් ආර්ථික බෝගයක්‌ ලෙසත් වගා කළ හැකි ය. වසර පුරා ම අස්‌වැන්න ලබාගත හැකි ය. අස්‌වැන්න ලබා ගැනීමට අතු කපා ගැනීම වඩාත් සුදුසු ය. කැපූ අතුවලින් නව අතු රිකිලි වර්ධනය වීම අස්‌වැන්න වැඩි වීමටත් ගසේ දිගු කල් පැවැත්මටත් හේතු වෙයි.
කිසිඳු පෙහොර මිශ්‍රණයකින් හෝ කෘමිනාශක යෙදීමෙන් තොරව ස්වාභාවිකව වැඩෙන කරපිංචා ශාකයේ කොටස් භාවිතයට දේශිය වෛද්‍ය ක්‍රමය තුළ විශේෂත්වයක් ඇත. කොලෙස්ටරෝල්,ආහාර අජීර්ණය, කෑම අරුචිය, බඩගින්න නැතිකම, බඩේ කැක්‌කුම, බඩ පුරවා දැමීම වැනි අවස්‌ථාවල දී කරපිංචා කොළ දෛනික ආහාරයට මැල්ලුමක්‌ ලෙස හෝ සම්බෝලයක්‌ ලෙස හෝ ලුණු මිරිසක්‌ ලෙස හෝ යොදා ගැනීමෙන් දෝෂ තත්ත්වය සුව වෙයි. මෙම කරපිංචා කොළය කබ‍ෙල් රත්කර කුඩු කර කෝපි මෙන් බීමෙන් බඩේ ඇතිවන රෝග සඳහා ඉතා හිතකර වේ.

කරපිංචා කොළ කැඳ උදෑසන ආහාරයට එක්‌ කර ගැනීම ද කලින් සඳහන් කළ දෝෂ තත්ත්ව මඟහැරවීමට හේතු වෙයි. සර්ප විෂ ශරීරගත වූ විට කරපිංචා කොළ කැඳ හීනටි හාල් සමග පිස ලුණු නො දමා හිස්‌ බඩ බීමෙන් විෂ නැති වී යයි. සෙංගමාල රෝග අවස්‌ථාවේ දීත් ඉහත සඳහන් ආකාරයට උදෑසන බීමෙන් සුවය ලැබෙයි. විද්‍යාත්මක පර්යේෂණවලින් රුධිරගත කොලෙස්‌ටරෝල් අඩු කිරීමේ ගුණයක්‌ ඇති බැව් හෙළි වී ඇත. දේශීය වෛද්‍ය විද්‍යාවේ දීත් රුධිරගත කොලෙස්‌ටරෝල් අඩු කිරීම සඳහා දිනපතා ආහාරයට කරපිංචා ඇතුළත් කර ගන්නා ලෙස නිර්දේශ කර ඇත.
කරපිංචා පැළයක් ගෙවත්තේ පැළ කිරීමෙන් අමිල වූ සේවාවක් දෛනික ජීවිතයට ලැබේ.

Loading...