web counter
Loading...

කුස්‌සිය කියන්නේ බෙහෙත් කුටියක්‌ ආහාර කියන්නේ බෙහෙතක්‌

Loading...

උදාවී ඇත්තේ සිංහල අලුත් අවුරුදු සමය බැවින් මේ දිනවල බහුලව කතාබහට ලක්‌වන මාතෘකා අතර ආහාර සඳහා හිමිවන්නේ සුවිශේෂී වටිනාකමකි. බත බුලත හා බැඳුන හෙළයේ මහා සංස්‌කෘතික මංගල්‍යවන සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳුන පුරාණ ආහාර සංස්‌කෘතියක්‌ පැවැතියේද එය කිනම් මූලධර්ම මත පදනම්ව ගොඩනැංවී ඇති දෙයක්‌ද මේ වන විට එහි දක්‌නට ඇත්තේ කිනම් තත්ත්වයක්‌ද යන්න පිළිබඳ යම් අවබෝධයක්‌ රටට අවැසි මොහොතක ඒ පිළිබඳ ප්‍රාමාණිකයෙක්‌ වන ගල්කිස්‌ස මහ හෝටලයේ සූප කටයුතු හා ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ දේශබන්දු ආචාර්ය පබ්ලිස්‌ සිල්වා මහතා මුණගැසීමේ අවස්‌ථාවක්‌ පසුගියදා උදාවිය.

ඉහත කාරණා පිළිබඳවත් එයට අමතරව පුරා වසර 41 ක්‌ තිස්‌සේ කරන ලද පර්යේෂණ හා ගවේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස මේ මස 24 වැනිදා එළිදැක්‌වීමට නියමිත ඒ මහතා විසින් රචනා කර ඇති “සූපවංශය” ග්‍රන්ථය පිළිබඳවත් යම් කථාබහක්‌ සිදුකිරීම අප මුණගැසීමේ ප්‍රධාන අරමුණ විය.

පෞරාණික වටිනාකම් රැසක්‌ නිහඬව දරාගනිමින් මෙරට සංචාරක හෝටල් ක්‌ෂේත්‍රයේ අද්විතීය වටිනාකමක්‌ හිමිකරගෙන ඇති ගල්කිස්‌ස මහ හෝටලය රට හමුවේ පමණක්‌ නොව ලෝකය හමුවේ ප්‍රකට කරවීමේ “මුද්‍රdව” බඳු පබිලිස්‌ සිල්වා මහතා, පළමුව සුහද ආචාරශීලී සිනහවකින් සංග්‍රහකොට ඉන් අනතුරුව මෙරට ආහාර සංස්‌කෘතිය සම්බන්ධයෙන් ඔහු සතු දැනුම හා අවබෝධය වචන බවට පෙරළන්නට විය

“අපි සිංහල අලුත් අවුරුදු හා බැඳුන අපේ ආහාර සංස්‌කෘතිය පිළිබඳ කථාකරන්න පෙර මම හිතනව අපි මේ කථාබහ ආරම්භ කරන්න ඕන මිනිස්‌ ශිෂ්ටාචාරයේ මුල් අවධියට ගිහිල්ල කියලා. මොකද මිනිසා පරිණාමය වෙන්න ඉස්‌සරත් ඊට පසුත් කාලයක්‌ ගතවනතුරුම තමන්ගේ ආහාරය පිණිස යොදා ගත්තෙ පිසින ලද ආහාර නොවෙයි. ඒ අය තමන්ගේ කුසගින්aන නිවා ගත්තෙ ආහාර අමුවෙන් අනුභව කිරීම තුළින් එහෙම අමුවෙන් ආහාර භුක්‌ති විඳපු ජනකොට්‌ඨාසයක්‌ ඇයි ආහාර පිසින්න පටන් ගත්තෙ. ඒකට හේතුවක්‌ තිබිය යුතුයිනෙ. අනෙක්‌ කාරණය තමයි ලෝකයේ සත්ව විශේෂ දස දහස්‌ ගණනක්‌ අතරින් සත්ත්ව විශේෂ එකක්‌ දෙකක්‌ පමණයි ආහාර පිළියෙළ කරල අනුභව කරන්නේ. එතනදී පළමු තැන හිමිවෙන්නෙ මිනිසාට. එහෙනම් කවුද අනික්‌ සත්ත්ව විශේෂය…

පබිලිස්‌ සිල්වා මහතා එතෙක්‌ කරගෙන ආ කථාබහ මා වෙත ඉදිරිපත් කරන ලද පැනයකින් නිමාකර මඳකට නිහඬ විය. එම පැනයට පිළිතුරක්‌ දීමට නොහැකියාවෙන් මා නිරුත්තර වන අයුරු දුටු ඔහු යළිත් හඬ අවදි කළේය. ඒ කටහඬෙහි ඔහු විසින් විමසන ලද පැනයට පිළිතුර අඩංගු විය.

“ඒ තමයි මී මැස්‌ස. එයත් ආහාරයට ගන්නෙ තමන් විසින්ම පිළියෙළ කරගත් ආහාරයක්‌. ඒ තමයි මී පැණි. අදත් මිනිසා වන අපට පුළුවන්ද ආහාර සංස්‌කෘතිය අතින් ගත්විට මී මැස්‌සව අභිබවා යන්න. ඒකට පිළිතුර තමයි “බැහැ” කියන එක. ඒකට හේතුව තමයි අපි මොන ආහාරය සැකසුවත් ඒක ආහාරයට ගන්න පුළුවන් නියමිත කාලයක්‌ පවතිනවා. හැබැයි සෑම මලකින්ම රොන් ගන්න මී මැස්‌ස මේව සංයෝග කරල නිෂ්පාදනය කරන මී පැණි කවදාවත් නරක්‌ වෙනවද? කල් ඉකුත්වීමේ දිනයක්‌ තියෙනවද? නැහැ. මීමැස්‌ස තමන්ගෙ ආහාර ටික හදාගන්නෙ අන්න එහෙම. ඉතින් අපි අපේ ආහාර සංස්‌කෘතිය ගැන කථාබහ කරන කොට අපි මේව ගැන කථා කරනවද. ඒ සතුන්ගේ දක්‌ෂතාවයන් අපි අනුගමනය කරනවද. අන්න ඒ හින්ද අපි මේව ආශ්‍රය කරගෙන අත්හදා බැලීම් කළ යුතුයි. ඔය කියන කාරණය ඇතුළු මිනිසා විසින් අනුභව කරන සියලුම ආහාර සම්බන්ධයෙන් වසර 40 ක්‌ තිස්‌සේ මා විසින් කරන ලද පර්යේෂණ හා අධ්‍යයනයන් උඩ ඉඳල මා විසින් ජාතියට යමක්‌ දායාද කරන්න තමයි “සූපවංශය” කියන මාහැඟි ග්‍රන්ථය මා විසින් ලියා පළ කරන්නෙ.”

“ඒක එක කාරණයක්‌. මෙතනදි මා එක්‌ක මාධ්‍ය අමනාප වන එකක්‌ නැහැ කියන විශ්වාසය මත ඉඳල තව කාරණයක්‌ පැවසිය යුතුයි. ඒ තමයි අද මාධ්‍ය මගින් ප්‍රචාරය කරන දැන්වීම් මගින් කියන්නෙ මොකක්‌ද? දේශීය ආහාරවලට එහෙම නැත්නම් යහපත් ආහාර රටාවක්‌ ගැන දැනුවත්වීම් සිද්ධ කරනවද? එහෙම දෙයක්‌ වෙන්නෙ නැහැ. වසරකට වරක්‌ සිංහල අලුත් අවුරුද්ද අල්ලගෙන අපි වගේ උදවියගෙන් ‘හොඳ’ ගැන පොඩි දෙයක්‌ අරගෙන ඒක සමාජයට දීල වැඩිපුර ප්‍රචාරය කරන්නෙ ආහාර සම්බන්ධයෙන් වැරදි සහ නරක පුරුදු. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ අපේ වගේ රටවල තිබුණ ආහාර සංස්‌කෘතිය යටපත්කරගෙන අද වනවිට ඉස්‌මතු වෙන්න පටන් අරන් තියෙන්නෙ පිටරට බහුජාතික හස්‌ත විසින් ඒ අයට වුවමනා දේ තමයි අද වෙද්දි අපට වැඩිපුරම ආහාරයට ගන්න වෙලා තියෙන්නෙ.

දැන් අපි කතා කරන්න ගත්තෙ අපට ආවේණික ආහාර තියෙනවද ඒ මොනවද කියලනෙ. එතනදි මට කියන්න තියෙන්නෙ අපේම කියන අපටම පමණක්‌ ආවේණික ආහාරයක්‌ තියෙනව නම් ඒ තලප ටික පමණයි. හැබැයි අපට අනන්‍යතාවක්‌ තියෙනවා. ආප්පයක්‌ ගත්තත් පොල් රොටියක්‌ ගත්තත් අපි කන්නෙ ඉන්දියාවෙ හදන ආප්පයට වඩා වෙනස්‌ ආප්පයක්‌. අනෙක්‌ ආහාර වර්ග ගත්තත් එහෙමයි. අන්න ඒ මත පිහිටල තමයි මම ‘සූපවංශය’ රචනා කරන්නෙ.

දැන් අපේ මහාවංශය ගත්තොත් ඒකට සම කරන්න තවත් ග්‍රන්ථයක්‌ ලෝකයෙ නැහැනෙ. අන්න ඒ වගේ තමයි මේ සූපවංශය කියන ග්‍රන්ථයත්. මේ ග්‍රන්ථයට වසර දෙකකට වරක්‌ අලුත් පරිච්ඡේද එකතු වෙනවා. මේ ග්‍රන්ථය ප්‍රධාන වශයෙන්ම සුවිශේෂි වෙන්නෙ මිනිසා ආහාර පිස අනුභව කිරීමට පටන් ගත්තෙ ඇයි කියන එකට මගේ දැනුමේ හා අවබෝධයේ හැටියට පිළිතුරක්‌ දෙනවා.

“අපි නැවත කතාවේ මුලට යමු. අපේ රටේ පැවති ආහාර සංස්‌කෘතිය පිළිබඳ ලිත සාක්‌ෂි නැතිකම මම දකින්නෙ ඉතිහාසය විසින් අපට සිදු කළ විශාල හානියක්‌ කියලා. මොකද මම එහෙම කියන්නෙ සුද්ද කොළ අතු ඇඳගෙන ඉන්න කාලේ අපේ රටේ තාක්‌ෂණය තිබිලා තියෙනවා. ගොවිතැන තිබිලා තියෙනවා. ඒ වගේම ආහාර සංස්‌කෘතියක්‌ තිබිලා තියෙනවා. හැබැයි ඒක කොයි වගේද? රස, සුවඳ කොහොමද? කියලා ලියවිලා නැහැ. මම දන්නා විදිහට අපේ ශේ්‍රෂ්ඨතම ඉතිහාස ග්‍රන්ථය වන මහාවංශය සඳහන් වෙනවා, ක්‍රි. පූ. 9 දී අපි ගොවිතැන් කළ ජාතියක්‌ කියලා. හැබැයි අපේ ආහාර සංස්‌කෘතිය මොකක්‌ද කියලා ලියවිලා නැහැ. 1815 මහනුවර රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය පාලන සමයේ තමයි, මම දන්න අයුරින් අපේ ආහාර සංස්‌කෘතිය ගැන මුලින්ම යමක්‌ ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ. ඒකත් පුස්‌කොළ පොතක ශ්ලෝක ලෙසින් ලියවිලා තියෙන්නේ. පසුකාලෙක මහාචාර්ය සන්නස්‌ගල මහත්තයා එංගලන්තයට ගිහින් ඒ පුස්‌කොළ පොත හොයා ගෙන ඒක ගැන ලිව්වා. ඒ හැර වෙන කිසිම සාක්‌ෂියක්‌ මම දන්න තරමින් අපේ ආහාර පිළිබඳ නිවැරදිව ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ.”

ඒ කාරණා ගැන පසුවට කතා කරන්න තියලා මේ මොහොත ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර, බත බුලතට විශේෂ වටිනාකමක්‌ එදා පටන්ම පවතිනවා.

මොකද අවුරුද්දකට එක්‌ වරක්‌ මුළු රටම එකම වෙලාවක ළිප ගිනි මොලොවන්න, එකම වෙලාවට ආහාර පිළියෙළ කරගන්න, එකම වෙලාවක ආහාර අනුභව කරන්න එයට අමතරව මේ හැම දෙයක්‌ම ආගම දහමට පළමු තැන දීලා ඉෂ්ට සිද්ධ කරන්න අපි පෙළඹිලා ඉන්නෙ අපි තුළ ඉන්න සංස්‌කෘතික මිනිසා හේතුවෙන්නෙ. එහෙම සිරිතක්‌ ලෝකයේ වෙන කිසිම රටක ඇත්තෙත් නැහැනේ. එතනදී අපි සකසා ගන්නෙ කුමන ආහාරද ඒවා සකසා ගන්නෙ කෙසේද කියන කාරණය බොහෝ දෙනෙක්‌ දන්න හින්දා මම ඒaකේ වෙන පැත්තක්‌ ගැන යම් සඳහනක්‌ කරන්නම්.

“සිංහල අලුත් අවුරුදු කෑම මේසයට පමණක්‌ නෙවෙයි, මේ කියන කාරණය සෑම ගෙදරකම තුන්වේල පිළියෙළ කරද්දී ගෘහණියට අනුගමනය කරන්න පුළුවන් නම් තමන්ගේ පවුල නිරෝගි සම්පන්න පවුලක්‌ බවට පත්කිරීමට ඇයට හැකියාව පවතිනවා.

” විශේෂයෙන්ම අද බොහෝ දෙනෙක්‌ නැකතට පිසින බතට හොද්දට රසකාරක කියලා වසකාරක දානවා. එතනදීම ආහාර අනුභව කරන්නේ කුමක්‌ සඳහාද? කියන කාරණයේ පවතින අරමුණ විනාශ වෙනවා. ශරීරයට අහිතකර දේ පාවිච්චි කරලා කොපමණ රසට උයා පිහා ගත්තත් ඒක ප්‍රතිඵල විරහිතයි. අනෙක්‌ කාරණය තමයි නිවසක වටිනාම කොටස තමයි මුළුතැන්ගෙය. කෙනෙක්‌ මුළුතැන්ගෙයට පිවිසෙද්දී පන්සලකට යනවා වගේ හැඟීමකින් එතනට යන්න ඕන.

ආහාර පිළියෙළ කරද්දී ඉතාම පිරිසිදු මානසිකත්වයකින් රසකාරකවලින් තොර ආහාර වේලක්‌ පිළියෙළ කරගන්න ඕන. ඇත්තම කියනවා නම් නිවැරදිව මනාව පිළියෙළ කරගත් ආහාරයක්‌ කියන්නෙ ශරීරයට ලබා දෙන ඖෂධයක්‌. ඒ තුළින් බොහෝ රෝග සුවපත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ හින්දා අවුරුදු සමය කියන කාලපරිච්ඡේදයේ පමණක්‌ නොවෙයි, අවුරුද්දෙ තුන්සිය හැටපස්‌ දවසෙම මේ රටේ ගෘහණිය විසින් තමන් විසින් සකසා ගන්න කුළුබඩු ටික පාවිච්චි කරලා ඉතාම යහපත් සිතින් පිරිසිදුව පිළියෙළ කරගන්න පුළුවන් ආහාර වේලක්‌ තමන්ගේ පවුලේ උදවියට නිවසට පැමිණෙන ඥති හිතවතුන්ට පිළිගන්වන්න පුළුවන් නම් මම හිතනවා, පුරාණයේ හිටපු මිනිසුන්ව යෝධයන් බවට පත් කළ අපේ ආහාර සංස්‌කෘතියට ආහාර රටාවට යළි ජීවයක්‌ දෙන්න පුළුවන් වේවි කියලා.

ඒ හින්දා මම ඉල්ලීමක්‌ කරනවා. නිවසක මුළුතැන්ගෙය කියන දෙය ” ඔසු කුටියක්‌” බවට පත් කරගන්න ඒ තුළ තිබෙන්නෙ ඖෂධ කියලා හිතන්න මේ අවුරුද්දෙ ඉඳලා ඒ හැඟීමෙන් යුතුව කටයුතු කරන්න කියලා. එවිට අපට පුළුවන් වෙනවා නොදැනුවත්වම අපේ ආහාර සංස්‌කෘතියේ ඇරඹුමට නැවත පිවිසෙන්න. ඊට පස්‌සෙ අපට පුළුවන් වේවි නැවත සුවපත් ජාතියක්‌, සුවපත් රටක්‌ නිර්මාණය කර ගන්න.

එසේ පවසමින් ආචාර්ය පබ්ලිස්‌ සිල්වා මහතා තමන් විසින් කරගෙන ආ කතා බහට විරාමයක්‌ ලබා දෙන්නට තීරණය කරන ලද්දේ කාලය විසින් ඔහුගේ අවිවේකී බව වේගයෙන් උදුරා ගත්තෙන් විය යුතුය. ඉදිරියේදී මෙවැනි ලිපි මාලාවක්‌ මඟින් රටට තමන්ගෙන් විය යුතු මෙහෙවර ඉටු කිරීමේ නිහතමානී පොරොන්දුවෙන් යුතුව කතා බහ නිමා කළ ජාතියේ මහා සුපවේදියා වන පබ්ලිස්‌ සිල්වා මහතා මා ඔහුගෙන් සමුගන්නට මොහොතකට පෙර පවා ප්‍රකාශ කර සිටියේ මෛත්‍රිය, ආදරය මුසු කොට තනන “ලුණු මිරිස්‌” පවා ඖෂධයක්‌ වන බවය.

රුවන් ජයවර්ධන

Loading...