web counter
Loading...

කැපී පෙනීමේ ආසාව ඇතිකරවන භාවික උන්මාදය

Loading...

භාවික උන්මාදය තරුණ පරපුර අතර දක්‌නට ලැබීමේ ප්‍රවණතාවය වැඩි බව පසුගිය සතියේ සටහන් කළා ඔබේ මතකයේ ඇත.

භාවික උන්මාදයේ රෝග ලක්‍ෂණ (හැඩුම් අන්තය සහ සිනාසුම් අන්තය) නිසාවෙන් රෝගීන් කළහකාරී වීම නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳ දැන් අපි විමසා බලමු.

භාවික උන්මාදයේදී රෝගියා කළහකාරී වීමෙන් පවුලේ සාමාජිකයන් සමඟ එනම් මව, පියා සහ සහෝදර සහෝදරියන් සමඟ මෙන්ම අනෙකුත් පුද්ගලයන් සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිකර ගැනීමට පුළුවන. මෙම ගැටුම් දුරදිග යැම නිසා රෝගියාගේ ජීවිතයට මෙන්ම සමාජයේ අනෙකුත් අයගේ ජීවිතවලට අනතුරුදායක තත්ත්වයක්‌ ඇතිකර ගැනීමට මෙන්ම ඇතිකරලීමට පුළුවන.

මේ සඳහා උදාහරණයක්‌ කියන්නම්. එක්‌තරා රෝගියකු නිවසින් අතුරුදන්ව සති දෙකකට පසු හොයාගෙන තිබුණේ යාපනය පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමේදීය. යාපනය පොලිසිය මගින් ඔහුගේ නෑදැයන්ට ඔහු පිළිබඳව දන්වා තිබේ.

පවුලේ කිසිවකුට නොදන්වා ලංකාව තරණය කළ යුතු යෑයි සහ මෙම රෝගයට ලාක්‍ෂණික වූ මෝහාත්මක සිතුවිල්ල මත තීරණයක්‌ ගනිමින් ඔහුගේ බැංකු පොතේ වූ මුදල්ද රැගෙන රෝගියා දින ගණනාවක්‌ ලංකාවේ ප්‍රදේශ කිහිපයක්‌ පුරා ඇවිද යමින් යාපනයට ගොස්‌ තිබේ.

යාපනයේදී එම ප්‍රදේශයේ අයකු සමඟ ඇතිකර ගත් කලහාවක්‌ නිසාවෙන් පොලිසිය අත්අඩංගුවට ගත් බව කියයි. පවුලේ ඥතීන් පවසන ආකාරයට ඔහු භාවික උන්මාදයට ප්‍රතිකාර ගනිමින් සිටියදී බෙහෙත් අතහැර දමා නිවසින් පිටත්වී ඇත.

භාවික උන්මාදයේදී මෙම අවස්‌ථාවට එළැඹුණු විට රෝගීන් යථාර්ථයෙන් ඔබ්බට ගිය යම් යම් සිතුවිලි සිතෙහි පෙරදැරිකර ගනිමින් ඒ අනුව ක්‍රියාත්මක වීම පටන් ගැනීමට පුළුවන. මෙම ව්‍යාධික අවස්‌ථාවේදී ඇතිවන තත්ත්වයට පවසන්නේ මෝහාත්මක සිතුවිලි මත ඇතිවන තත්ත්වය කියාය. මෙය මෝහෝන්මාදයට ලාක්‍ෂණික වූ රෝග ලක්‍ෂණය.

මෙවැනි අවස්‌ථාවකදී රෝගියා සිතන්නේ මෙලොව සිටින සුපිරි සුවිශේෂී පුද්ගලයා තමා යනුවෙනි. තමාට අන් අයට නොමැති අසාමාන්‍ය බලයක්‌, ශක්‌තියක්‌ ඇතිබව ඔවුහු සිතති. ඔවුන්ට අසාමාන්‍ය නිර්මාණාත්මක හැකියාවක්‌ සහ විවිධ අලුත් දේ කිරීමේ සිතුවිලි මෙම අවස්‌ථාවේදී පහළ වීමට පුළුවන.

මෙම රෝගී අවස්‌ථාවේදී තවත් සිදුවීමක්‌ මෙලෙස විස්‌තර කරමු.

එක්‌තරා රෝගියකු කොළඹ සිට නුවර දක්‌වා තෝරාගත් පන්සල් තිහකට පමණ පරිගණක යන්ත්‍ර පූජාකර තිබුණේ රෝගී තත්ත්වය නිසාවෙන් ඇතිවූ මෝහාත්මක සිතුවිලි මත බැංකු ණයක්‌ රැගෙනය. නමුත් මොහු ප්‍රතිකාර ගෙන සුවවීමෙන් පසු තේරුම්ගෙන තිබුණේ මෙම කටයුතු සිදුකර තිබුණේ තමන්ට හැකි කමක්‌ නොතිබියදී බවයි. රෝගය නිසා ඇතිවූ අසාමාන්‍ය කැපී පෙනීමේ සහ මුදල් වියදම් කිරීමේ වුවමනාව මත එය සිදුවී තිබුණි.

මෙම තත්ත්වයේදී රෝගියාට යථාර්ථය පිළිබඳ අනාවබෝධය නිසාම රෝගී තත්ත්වයක්‌ තිබෙනවා යෑයි පිළිගැනීමක්‌ නැත. එය ඔවුන්ට ඒත්තු ගැන්වීමටද අපහසුය. මෙම තත්ත්වය නිසාම ඖෂධ භාවිත යොදා ගැනීමේදී ලොකු ප්‍රායෝගික ගැටලුවකට රෝගියාගේ භාරකරුවන් මෙන්ම වෛද්‍යවරයා මැදිවනු ඇත. ඒ නිසාම මෙම තත්ත්වයට රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීම කළ යුතුය.

නිසි ප්‍රතිකාර නොකිරීමෙන් කාලයෙන් කාලයට රෝගය මතුවිය හැකි නිසාවෙන් ප්‍රතිකාරය පිළිබඳ සැලකිලිමත්විය යුතුය. එසේ නොවීමේදී කාලයෙන් කාලයට රෝග මතුවීම තුළ අධ්‍යාපනය, රැකියාව, විවාහය යන සාමාන්‍ය ජීවිතයේ දිවි පෙවෙත රෝගී කාල වකවානුව තුළ සම්පූර්ණයෙන්ම අඩාල වීමේ හැකියාව ඇත.

දේශීය මානසික රෝග වර්ගී කරණය තුළ මෙම රෝගය පැහැදිලිවම හඳුනාගෙන ඇත. දේශීය ප්‍රතිකාර හමුවේ රෝගය නිට්‌ඨාවට සුවකර ගැනීමේ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර ක්‍රමයක්‌ තිබේ. සුවයෙන් පසු සදාකාලික ප්‍රතිකාරවලින් යෑපීමේ අවශ්‍යතාවක්‌ නැත.

රෝගියා සුවවීමෙන් පසු රෝගියා දෙස මානසික රෝගියකු ලෙසින් තවදුරටත් නොබැලිය යුතුය. සමාජය වටහා ගත යුතු ප්‍රධානම කාරණාව එය විය යුතුය. එයට හේතුව අප සැමට කවදා හෝ කොතැනකදී හෝ මනෝ ව්‍යාධියකට ලක්‌වීමේ ඉඩකඩ පවතින බැවිනි.

නීලම්මහර දේශීය මනෝ ව්‍යාධි වර්ගී කරණයේදී පුරාණ පොත පතෙහි භාවික උන්මාදය පිළිබඳ සටහන් කර තිබෙන කවියයි මේ.

* පෙනෙන සැම සපු ඇතුන් අසුරයන්

අසුන් රාජ පුරියන් වැන්නේ

* සවන නළා හඬ වෙඩි හඬ රැව් දෙයි

බියෙන් වරෙක කෑ ගසමින්නේ

* දුවනට යයි රළු බස්‌ දෙඩවිලි වෙයි

නින්දෙන් පිබිදී බියවන්නේ

* පවන කිපී එන උමතුව මෙලෙසයි

හැඬුම් සිනාසුම් ඇතිවන්නේ

නීලම්මහර
(මානසික රෝග විශේෂඥ)
ආයුර්වේද වෛද්‍ය
සමන් එස්‌. හෙට්‌ටිගේ

සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති

Loading...