web counter
Loading...

ඔබේ නමට එන තේරුමේ වැදගත්මක සහ ඒවා හැදුන හැටි මෙන්න

Loading...

සියලුම පුද්ගලයන් සතු මාහැඟි වස්තුවක් වෙයි. එහෙත් එය බොහෝවිට භාවිත කෙරෙන්නේ අන් අය විසිනි. ඒ ඉතාම වටිනා “වස්තුව” කෙනකුගේ නමයි. “රූපං ජීරති මච්චා නං – නාම, ගොත්තං නජීරති” යි, සම්මා සම්බුදු හිමියෝත් දේශනා කළ සේක. (මිනිසුන්ගේ රූපය නැතිවේ එහෙත් ඔවුන්ගේ නම් ගොත් නොදිරා පවතී)

හැමෝටම නමක් තිබුණද ඒ පිළිබඳ විචිත්‍ර කථාව බොහෝදෙනාගේ අවධානයට ලක්වී නොමැත. ඒ නිසා, හා පුරා කියා අපි “නමක අරුමය” දෙසට යොමුවෙමු.

ඉපැරණි යුගයන්හි පටන්, දරුවකුට නම් තැබීමේ ක්‍රියාදාමය මහා මංගල්‍යයක ස්වරූපය ගත්තේය. සුදොවුන් රජුට දාව බෝසත් කුමරු ඉපිද පස් දවසකින්, ඒ උදාර කුමරුට නම් තබනු පිණිස, රජු උගත් බමුණන් එකසිය අටදෙනකු මාලිගයට කැඳවූයේය. ඔවුන් අතුරෙනුත් මහා පණ්ඩිත බමුණන් අටදෙනකුට, මේ නම් තැබීම ඉටුකරනු පිණිස ඇරයුම් කරන ලදී. ඒ අටදෙනා රාම, ධජ, ලක්ඛණ, මන්කි, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත නම් වූහ. ඔවුහු එක් රැස්ව කතිකාවේ යෙදී බෝසත් කුමරුන්ට “සිද්ධාර්ථ” යන නාමය දුන්හ.

මෙය මානව ඉතිහාසයේ සටහන් වන උසස්තම, නම් තැබීමකි.

මානව සංස්කෘතියෙහි, ඈත අතීතයේ පටන්ම, උසස් හා සාමාන්‍ය සියලුදෙනාටම නම් තැබෙන්නේය. ඒ නම්වල විකාශනයෙන් ඒ ඒ සමාජයේ ඓතිහාසික අවස්ථා පිළිබිඹු කෙරෙන්නේත් වේ.

ඉපැරණි ශ්‍රී ලංකාවේ ආදිතම නම් පිළිබඳ කතා ඇසෙන්නට ලැබෙන්නේ “රාමායන” මහා කාව්‍යය ආශ්‍රයෙනි. එහි එන ප්‍රබල ශ්‍රී ලංකා රාජයා “රාවණ” නම් වේ. එහි අරුත සූර්ය වංශික යන්නය.

මේ හා ආශ්‍රිත තවත් නම් ඇත්තේය. රාවණ රජුට සොහොයුරෝ දෙදෙනෙකි. ඔවුහු විභීෂණ සහ කුම්භකර්ණ නම් වූහ. රාවණ බිසොව මන්දෝදරී (සිහිනිඟ සහිත කුමරිය) නම් වූවාය.

මේ රාමායන මහා කාව්‍යය ආශ්‍රිත ස්ථාන නාමද, ශ්‍රී ලංකාවේ පිහිටියේය. ලක්ෂ්මන් කුමරුට බේත් කරනු පිණිස, හනුමන් විසින් හිමාලයෙන් ගෙනෙන ලද පර්වතයේ කොටසක් ඉවත විසිකරන ලද බවත්, එය දැන් ගාල්ලේ උණවටුන අසල පිහිටි “රූමස්සල” කන්ද බවත්, ජනප්‍රවාදයේ පැවසේ. මේ “රූමස්සල” යන නමේ අරුත ගැනද විවිධ මත ඇත්තේය. එය රාමාගේ පර්වතය යන තේරුම සහිත යැයි පෙනේ (රාමා ශෛල)

කෙසේ වුවද අපි පුද්ගල නාම දෙසට හැරෙමු. බුදු හිමියන් දෙවන වරට සිරිලක වැඩම කළේ මහෝදර චූලෝදර නම් මාමා – බෑණා අතර ආරාවුලක් නිරාකරණය කරන්නටයි.

මහෝදර මාමා මහ බණ්ඩා යැයිද චූලෝදර බෑණා පුංචි බණ්ඩා යැයිද ඇතැම්මු අරුත් දෙන්නට ප්‍රයත්න දරති.

ඒ නිරුක්තිය කෙසේ වෙතත්, අපගේ නිල රාජවංශයේ නම් දෙස බලමු. මහා වංශයෙහි ප්‍රධාන පාලක පාලිකාවන් 186 දෙනකුගේ නම් සඳහන්වේ.

ඔවුහු බොහෝදෙනා සරල නම් සහිත වූහ. විජය, අභය, තිස්ස ආදී නම් ඔවුන්ට බහුලව භාවිත වූයේය.

ඇතැම් රජවරුන්ගේ කායික ලක්ෂණද නමට එකතු විය. වංක නාසික තිස්ස (වක්වූ නාසය සහිත තිස්ස), ඛල්ලාට නාග (තට්ට නාග) ආදී වශයෙනි. ගැමුණු යන නම ගම්වර ලද පාලකයන් උදෙසා යෙදින.

අනුලා, ලීලාවති යන නම් කාන්තා රාජ්‍ය පාලිකාවන් සඳහා භාවිත කෙරුණේය. සේන , නාග ආදී නම් ලද රජවරුද සිටියහ.

එහෙත්, ඒ කාලවල සාමාන්‍ය මිනිසුන්ගේ නම් වංශ කතාවල එතරම් බහුලව භාවිත නොවේ. සීගිරි කුරුටු ගී ආදී ඇතැම් ලේඛනවල ඉඳහිට සාමාන්‍ය පුරවැසියන්ගේ නම් සඳහන්වේ. “බුදල්” එවැන්නෙකි.

මේ නම් තැබීමේ ඉතිහාසයෙහි මෑත යුගය, විශේෂයෙන් අප විසින් සඳහන් කළ යුතුවේ.

ගම්මානවල උපදින දරුවන්ට නම් තැබෙන්නේ නක්ෂත්‍රයේ දැක්වෙන අකුරු මුල්කොට ගෙනයි.

ඇතැම්විට එයද අපහසු කාර්යයක් වේ.

ගමක උපන් දරුවකුට “ඩ යන්න” මුල්කොට නමක් දෙන්නට නැකැත් විසින් නියම කෙරිනි. ඩයන්නෙන් පටන්ගන්නා නමක් සෙවීම ඉතාම අපහසු වූ හෙයින් දෙමාපියෝ දරුවාට “ඩයන්න” යැයි නම් තැබූහයි ප්‍රවාදයක සඳහන් වේ.

පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි යුගවල ශ්‍රී ලංකාවේ දරුවන්ට නම් තැබීමේ සිරිත වෙනස්වන්නට පටන්ගත්තේය. ඒ විදේශික සංස්කෘතීන්ට අනුගත නාම බහුලව භාවිත වන්නට විය. මේ නම් තැබීමේ නව ආර වෙසෙසින්ම බලපෑයේ විදේශික වේගයන්ට සෘජුවම මූණපාන මුහුදුකරය ආශ්‍රිත පෙදෙස්වලටයි.

ඒ පෙදෙස්වල අය සිල්වා, ප්‍රනාන්දු, කුරේ, පෙරේරා, ෆොන්සේකා ආදී විදේශික ලක්ෂණ සහිත නම්වලට ඇබ්බැහි වූහ. ඒ විදේශිකයන්ගේ වර්ග උදෙසාත් සිංහල නම් සකස් විය. පෘතුගීසිහු පරංගි යැයි හඳුන්වනු ලැබූහ.

මෙයට හේතුව ඉන්දියාව මැද පෙරදිග ආදී ඇතැම් රටවල මිනිස්සු බටහිර ජාතිය හැමෝම පාහේ ෆ්‍රැන්කීස් යයි නම් කිරීමයි. “ෆ්‍රැන්කි” සිංහලයෙහි හිටියේ “පරංගි” නමිනි. ඕලන්ද යන නාමයද මෙහිදී විකාශනය වූයේය. මුලින් සිංහලයන් ඔවුන් හැඳින්වූයේ “ඕලන්දේසි” හැටියටයි. එය ලන්දේසි වූයේය. පසුව ඒ පදය ‘ලන්සි’ යැයි තවත් කෙටි කෙරුණේය.

ඉංගිරිසි පාලන සමයෙහිදී පවා අපේ රටේ උඩ පාත දෙපෙදෙසේම සාමාන්‍ය සිංහල නම් භාවිත කෙරිණි. පහත රට අප්පුහාමි, අප්පු සිඤ්ඤෝ, බබුන්, බබානිස්, ගිරිගෝරිස්, පොරෝලිස්, කොර්නේලිස්, කර්තේලිස් යන නම් ව්‍යවහාරයේ යෙදිනි. උඩරට බණ්ඩා, බණ්ඩාර, මැණිකේ, කුමාරිහාමි ආදී පද ගැමි පෙදෙස්වල ව්‍යවහාර වූයේය. පාතරට ධර්මදාස, බුද්ධදාස, සෝමදාස, සංඝදාස, පියදාස, සිරිසේන ආදී නම් බහුල විය. ප්‍රේමවතී, කරුණාවතී, දයාවතී ආදී කාන්තා නාමද පෘථුල ලෙස ව්‍යවහාර වූයේය. වික්ටෝරියා රැජින (ක්වීන් වික්ටෝරියා) පාලනය කරන සමයේදී උඩරට පෙදෙසේ ඇතැම් කාන්තාවන් කොයින් මැණිකේ යන නමටද පුරුදු වූහ. (ක්වීන් – කොයින් වූයේය)

තරමක ජන ප්‍රභුත්වයෙන් සිටි අය පවා ඉංගිරිසි පාලන යුගයෙන් ඒ අපරදිග හුරුවට නැඹුරුවී නම් තැබූහ. ඇතැම් සිංහල බෞද්ධ පවුල්වලද, ඬේවිඞ්, හෙන්රි, එඞ්වඞ්, ඇන්ඩෲ, ජෙරමියස්, තෝමස්, ජේම්ස් ආදී නම් භාවිතයට ආයේය.

මෙහිදී සිනාමුසු තැන්ද උද්ගත විය. එක් ගැමි ගෙදරක, දරුවකුට බෝල්ඞ්වින් යැයි නම් තබන ලදී. දරුවාගේ අත්තම්මාට එය උච්චාරණය කිරීම අපහසු විය. ඒ කාන්තාව, බෝල්ඞ්වින් නම් සිය මුනුපුරා ඇමතුවේ බෝදිලිමා කියායි.

ලොකු ලොක්කන් අනුකරණයෙන් දරුවන්ට නම් තැබීමට ඇතැම් සාමාන්‍ය පුරවැසියෝ රුචියක් දක්වති. එවැනි පියෙක්, සේනානායක, බණ්ඩාරනායක ආදී අයගේ නම් දෙස බැලුවේය. ඒ නම් සියල්ලටම මුලින් දිවංගත යැයි තිබෙනු දුටු ඔහු තමාගේ ආදරණීය සිඟිති පුතාටත් දිවංගත යන නම දුන්නේය.

එවැනි විදෙස් නම් එකතු කොට කළ පබැඳුමක් මට මතකයි.

අද සවස මෙහේ ඒවී මිසිස් වැන්දබෝනා,
කොට ගවුම ඇඳන් දැන් යයි ෂොපිං මිස් ජොහනා
කදිම ජොලි ෆෙලෝ වික්ටර් මෙ අද බස් කියලා,
දොඩන හැටි බලන් අච්චාරු බාසෙන් මෙකාලේ
මෙය මගේ මතකයට අනුව, ආනන්ද රාජකරුණා කවියාගේ නිර්මාණයකි.

ඒ කාලයේදී ඉංගිරිසි නම් දුටු ඇතැම් අය ඒවා ගැන විස්මයට පත්වූහ. සමහර ඉංගිරිසි වාසගම් පාට මුල්කොට ගත්තේය. වයිට්, බ්ලැක්, බ්‍රවුන්, ග්‍රීන් ආදී වශයෙනි. තවත් ඒවා ආයේ සතුන් ඇසුරෙනි. ෆොක්ස්, බෙයාර්, ලෑම්බ්, ටයිගර්, වුල්ෆ් ආදිය එයට නිදර්ශනයි. වාසනාවකට සිංහල අනුගාමිකයෝ ඒවා ආදර්ශයට නොගත්හ. අපේ රටේ සතුන් ආශ්‍රිත වාසගම් ඇතත් ඒවා සිංහ, ගජ දෙවර්ගයට සීමාවේ.

මැද පෙරදිග මිනිස් නම් බොහොමයක් සතුන් ආශ්‍රයෙන් ආයේ වේ. ගමාල්, කමාල්, කමල් ආදී නම් ඔටුවා උදෙසා (කැමල්) ව්‍යවහාරවන පදයි. ඔටුවා කාන්තාර ගහන මැද පෙරදිග වීර සත්වයෙකි.

සමහර විටෙක මිනිස් නම් පමණක් නොව, පොත්වල නම් පවා හරිහැටි සකස් කොට ගැනීම අපහසුය. සර් රොබට් එරික් මෝටිමර් වීලර් සුප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයෙකි. ඔහු ඉන්දියාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පදවියක් ඉසිලුවේය. විචක්ෂණ ලේඛකයකු වන ඔහු සිය ආත්ම චරිත කතාව ලිව්වේය. පොත ලියා අවසන් කොට, මාස ගණනක් ගතවුනද ඔහුට එයට සුදුසු නමක් සොයාගත හැකි නොවීය. මෙසේ, දැඩි මානසික අර්බුදයකින් සිටි ඔහු වරක් උදෑසන සක්මනෙහි යෙදුනේය. එහිදී ඔහුට පැරණි යහළුවෙක් මුණගැසුණේය. යහළුවා ඔහු ඇමතුවේය. “මෝටිමර් ස්ටිල් ඩිංගිං? (මෝටිමර් ඔබ තවමත් හාරනවාද? පුරාවිද්‍යා කැණීමේ යෙදෙනවාද?) ඒ මොහොතේ ඔහුගේ අර්බුදය සහමුලින්ම විසඳුනේය. ඔහු වහාම සිය ආත්ම චරිත කතාවට නම දැම්මේය. ‘ස්ටීල් ඩිගිං සර් මෝටිමර් අපට මෙය කොළඹදී පැවසුවේ අපගේ තරුණ කාලයේදීය.

ශ්‍රී ලංකාවේ මෑත යුගයේදී පුද්ගල නාම පිළිබඳ ප්‍රබල මට්ටමේ විප්ලව දෙකක් සිදුවූයේය. ඉන් එකක් ධර්මපාලතුමන් නිසාය. සිංහල සංස්කෘතික පරිහානිය වළක්වා ගන්නා පිණිස, ඔහු ඉංගිරිසි නම් භාවිතයට දැඩි විරෝධය පෑයේය. ඉංගිරිසි නම් භාවිත කරන අයට පරිභව කොට (ඇතැම් විටෙක දැඩිව නින්දා කොට) ඒ තැනැත්තාට සිංහල නමක් දුන්නේය. පියදාස සිරිසේන දේශමාන්‍ය, එවැන්නකට මූණ පෑවෙකි. අනගාරික ධර්මපාලතුමා සිය ඉංගිරිසි නමවන ඬේවිඞ් යන්න වෙනස් කළේය.

ශ්‍රී ලංකාවේ නම් වෙනස් කළ අනිත් සමාජ සංස්කෘතික විප්ලවවාදියා මුනිදාස කුමාරතුංග (පසුව කුමාරතුඟු මුනිදාස) විද්‍යාඥයායි. ඔහු සිය හෙළ හවුල් ව්‍යාපාරයේ අනුගාමිකයන්ගේ නම් වෙනස් කළේ දැඩි උද්වේගයකිනි. කුඩා කල පටන්ම හේ මිතුරකු වූ ජෝජ් කුඩාවිඞ් හෙළ හවුලේ සාමාජිකව සිය නම අනඳපිය කුඩාතිහි බවට පෙරළා ගත්තේය. අල්විස්ලා අලව්ඉසි වූහ. ඒ ආදී වශයෙනි. පසුගිය දශක දෙක තුන අතර කාලයේදී සිංහල නම් පිළිබඳව තියුණු අවධානයක් යොමුවේ. සිංහල (හෙළ) හුරුව සහිත නම් තැනීමේ විශේෂඥතාවයක් ප්‍රකට කළ අරිසෙන් අහුබුදු අපරදිගට සම්බන්ධකම් නැති, දේශීය ලක්ෂණවලින් හෙබි නම් සකස් කිරීමේ විස්මිත පුරෝගාමියෙක් විය.

ඔහුගෙන් නම් ලද අයගේ හා ආයතනයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යනු ඇතැයි මට සිතේ.

තම නම කෙරෙහි ගෞරවයක්, ආඩම්බරයෙන් සහිතවීම, චරිත වර්ධනයට ඉමහත් රුකුලකි.

එසේ වුවද එවැනි ගෞරවයක් උපයාගනු සඳහා ඇතැම් ස්ථාන නාම වෙනස් කෙරෙන තැන්ද ඇත්තේය. හික්කඩුව, හික්ගස් පිරි කැළය යන අරුති. වස්කඩුව, පනාකඩුව, තමන්කඩුව නිදර්ශනයි. එහෙත් සිය ගම් පෙදෙසෙහි නමින් තවත් ගම්පියසක් ලබන්නට කැමති අය එය සිප්කඩුව (ශිල්පයට කඩුවක් වැනි තැන) වශයෙන් හඳුන්වති.

කඩු කාටු නම් දෙමළ වචනයෙන් එන්නෙකි. එහි අරුත කැළෑව යන්නය.

ශ්‍රී ලංකාවේ සමාන නාම බොහොමයකම අපූරු අරුත් සහිතය. ගස් ආශ්‍රිත ගම් මීපේ, නූපේ, දොම්පේ ආදී වශයෙන් හැඳින්වේ. ගම ගොඩ ආදී ස්ථාන නාම බහුලය. මහ රුහුණේ ඇතැම් තැන් අඟුණකොළපැළැස්ස, ආදී වශයෙන් නම් කෙරේ. එහි තේරුම ආශ්‍රිත යන්නය. අඟුණකොළ වගාව ආශ්‍රිත පෙදෙස අඟුණකොළපෑලැස්ස වේ. වෙල් ආශ්‍රිත පෙදෙස වෙල්ලස්සයි.

ගාල්ල යන්නද වන ගහනයට නමකි. ගොල්ල ද එසේය. අත්තනගල්ල, හොරගොල්ල ආදී වශයෙනි. විවිධ ගතිපැවතුම් ඇති අයට සිනාමුසු නම් දෙන්නටද ගැමියෝ සමත්ය. ඉතා අධික මිලට මාලු විකුණන වෙළෙන්දෙක්, ගැමියන් විසින් නම් කෙරුණේ ‘බළලා’ වශයෙනි. බළලෙකුට මාළුවකු අහුවුනොත් එය ආපසු ගැනීම අපහසු හෙයිනි.

අද යුගයේදී අප විසින් දරුවන්ට නම් දීමේදී විශේෂ අවධානයක් යොමුකළ යුතුවේ. නරක් කරගත නොහෙන උදාර නාමයක් දරුවාට ලබාදී තමාගේ නම ගැන ආඩම්බර වන්නට දරුවා පුරුදු කළ යුතුවේ.

සමකාලීන සමාජයේ ඉතා පැහැදිලිව පෙනෙන ප්‍රවණතාවයක් නම්, තේරුම් ගන්නට අපහසු, අන් අයකු විසින් අනුකරණය කළ නොහෙන අපූරු නමක් තම දරුවාට ලබාදීමය. මෙවැන්නක් දරුවකුගේ අනාගතය කෙරේ බලපාන ආකාරය වැඩිහිටියන් විසින් ගැඹුරට සලකා බැලිය යුතුවේ.

මෙයට දශක කිහිපයකට පෙර දරුවන්ට මුගලන්, රාහුල, ආනන්ද, සීවලී ආදී නම් දීමට අපගේ වැඩිහිටියෝ යොමුවූහ. බෞද්ධ නොවන බැතිමත්තුද ආධ්‍යාත්මික ශෝභාවට තුඩුදෙන ගති ලක්ෂණ සහිත නම් දරුවන්ට දුන්හ.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හැමවිටම විශේෂ නම් ලබාදීමේ ශාසන සම්ප්‍රදායක් ඇත්තේය. එවැනි නම්වලින් ලැබෙන වගකීම, ආධ්‍යාත්මික ප්‍රගතියට තුඩුදෙයි. ශ්‍රී ලංකාවේ හාමුදුරුවරුන්ගේ නම් ඉතා විස්තරාත්මකව කියා සිටිය හැකි මගේ බැතිමත් මිතුරෙක් සිටී. ඒ මිතුරා හිමිවරුන්ගේ නම් ක්‍රමවත්ව ඉදිරිපත් කෙරෙන විට කාගේත් භක්තිය, ප්‍රමෝදය වර්ධනය වේ. මේ සියල්ලෙන්ම ඇහෙන ප්‍රධාන කරුණක් වේ. දරුවන්ට නම් දීම, ඒ දරුවන්ගේ ජීවිතයට උදාර ලෙස බලපාන වතාවතක් සේ තැකිය යුතු වන්නේය.

උපුටා ගැනීම lankadeepa පුවත් පතෙන්

Loading...