web counter
Loading...

එක් පුද්ගලයෙකුගේ ඉයර්ෆෝන්, හෙඩ්ෆෝනය තවත් පුද්ගලයෙකු භාවිතා කිරීම හොඳ නැහැ නැති ගැටලු ඇතිවෙයි

Loading...

නිතර ඉයර්ෆෝන්, හෙඩ්ෆෝන් භාවිතා කරන්නන්ට කනේ ඉටි සෑදීම වැඩි බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. කනේ ශබ්දය නින්නාද වීමට, කන හිරිවැටීමට ද මේ පුරුද්ද හේතු වේ. හිරිවැටීම පවතින්නේ තාවකාලිකව, කෙටි කාලයකට විය හැකියි. එහෙත් එය බිහිරි බවට පත්විය හැකි බවට පෙර නිමිත්තකි.

කනෙහි ඇතිවන වේදනාවට ද ඉයර්ෆෝන්, හෙඩ්ෆෝන් දිගුකාලීනව භාවිතා කිරීම හේතු වේ. මේ උපකරණවලින් නිකුත් කරන විද්්‍යුත් චුම්බක තරංග මොළයට හානිකර වීමට පුළුවන.

කනේ ඉටි වැඩිපුර නිපදවීමක් සිදු නොවුණත් බොහෝ දෙනෙක් ස්වභාවිකව කනේ ඉටි හෙවත් කලාඳුරු ස්වල්ප වශයෙන් ඇති වුණත් අසහනයෙන් සිටිති. කනේ ඇති සංවේදීතාවය නොතකා අසල තිබෙන ගිනිකුරකින්, හැට්ට කට්ටකින් පවා කන කැසීමට පෙළඹෙති. එසේ තිබියදී කලාඳුරු පමණට වඩා නිපදවීම කෙනෙකු කෙතරම් අසහනයට පත් කරනවාද යන්න අමුතුවෙන් කිවයුතු නැත. ස්වභාවිකව කනේ ඉටි වියළී බැහැර වුණත් වැඩිපුර නිපදවෙන විට එසේ පිටවීමේ ගැටලු මතු වේ. කනේ ඉටි වැඩි වූ විට කන ඇසීම අඩුවීම, කරකැවිල්ල, කන් කැක්කුම, කන් යමකින් පිරී ඇති බව දැනීම, කනේ ඇතුළින් ශබ්දයක් ඇසීම, කනෙන් ස්‍රාවයක් නිකුත් වීම, කැසීම වැනි ලකුණු ඇති වේ. මෙවිට උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

කනේ කලාඳුරු වැඩි වූ විට ග්ලිසරීන් හෝ ඔලිව් තෙල් දැමීම හානිකර නැතත් සැමවිටම කනට යමක් දැමීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් වන්නේ ඉන් ශ්‍රවණයට හානි විය හැකියි. කෝණ්ඩ කටු වැනි දේ භාවිත කරමින් කන කැසීමේදී, ඉටි ඉවත් කිරීමේදී වෙනකතු අතෙහි වැදුණොත් කන් අඩිය පවා තුවාල වීමට පුළුවන. කොට්න් බඩ්වලින් කන පිරිසුදු කිරීම අපේ අය කරන තවත් වරදකි. කොට්න් බඩ්වලින් කන පිරිසුදු කිරීමේදී කන තුළට කලාඳුරු තවදුරටත් තල්ලු වී යයි.

අපේ ශ්‍රවණයට වින කරන කරුණු අතරින් ඉයර්ෆෝන්, හෙඩ්ෆෝන් භාවිතය එක් හේතුවක් පමණි. අනෙක් කාරණා අතර අක්‍රීය දුම්පානය, ස්ථුලතාවද හේතු වේ. අක්‍රීය දුම්පානයට ගොදුරු වීමේදී කනේ අභ්‍යන්තරයට හානි සිදු වේ. දුම්වැටියේ රසායන කනේ කම්පනය ඇති කරන හැකියාවට බාධා ලෙස ක්‍රියා කරයි. ගර්භණී මවක් අක්‍රීය දුම්පානයට ගොදුරු වීමේදී කුසෙහි වැඩෙන දරුවා ශ්‍රවණ දුබලතාවකට ලක් වීමේ ඉඩකඩ වැඩිය.

ස්ථුලතාව ද හොඳින් කන් ඇසීමට බාධාවකි. විශේෂයෙන් තරබාරු, අඩු ක්‍රියාකාරී අය ශ්‍රවණ දුර්වලතාවලින් පීඩා විඳියි. ව්‍යායාම කර ස්ථුලතාව අඩු කර ගැනීමෙන් ශ්‍රවණය දුර්වල වීම වළක්වා ගත හැකියි. වැඩි වශයෙන්ම තරබාරු කාන්තාවන් මේ අර්බුදයට මුහුණපායි. අප කතා කිරීමට ඉගෙන ගන්නේ මව්කුසේ සිටම සවන් දීමෙනි. මොළයේ භාෂා සහ කථන හැකියා ඇති ප්‍රදේශය ශ්‍රවණ හැකියාව මත වර්ධනය වේ. එහෙත් උපතේ සිට ශ්‍රවණ ඌනතාවක් ඇත්නම් මොළයේ වර්ධනය ඌන වී ගොළුවේ. දරුවකුගේ ශ්‍රවණ හැකියාව සති හයේ, හතේදී හඳුනාගත යුතුය. ශ්‍රවණ ගැටලුවක් ඇති බවට සැකයක් අත්නම් වහාම උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුය.

ඩෙසිබල් 90ට වැඩි ශබ්දයකට කාලයක් පුරා සවන් දීම කන් බිහිරි වීමට හේතුවක් වීමට පුළුවන. ඩෙසිබල් සියයට වැඩි හඬකට මිනිත්තු 15ක් වැනි කෙටි කාලයක් සවන් දීම ඇසීමේ හැකියාව අහිමි කිරිමට හොඳටම ප්‍රමාණවත්ය.

මේ ආදරණීය ඇබ්බැහිවීමේ අහිතකර බව අඩු කිරීමට ඉහළ හඬකට සවන් නොදීම වාගේම ඉයර්ෆෝන්, හෙඩ්ෆෝන් ගලවා වරින් වර විරාමයක් ගැනීම ඉතා වැදගත්ය.

අපේ යොවුන් පරපුර වැඩිපුර සවන් දෙන්නේ ඩෙසිබල් 120ට ආසන්න හෝ වැඩි හඬවල්වලටයි. ඝෝෂාකාරී සංගීත ප්‍රසංගයක පවා පවතින්නේ ඩෙසිබල් 120ට වැඩි සංගීත නාදයකි. මෙතරම් ඉහළ හඬකට සවන් දී පැයයි මිනිත්තු 15කට පසු කන් ඇසීමේ අඩු වීමක් සිදුවන බව පර්යේෂණ මඟින් අනාවරණය කරගෙන ඇත.

ඇඳුම් පැලඳුම්, තුවා, දත් බුරුසු, රේසර් හුවමාරු කරගෙන භාවිතා කිරීම සෞඛ්‍යයට බරපතළ ලෙස හානිකර පුරුදුය. ඉයර්ෆෝන් සහ හෙඩ්ෆෝන් ද මාරු කර ගනිමින් භාවිතා කිරීම ද ඒ හා සමානවම ඉතා නරකය.

අප සැමගේම කන්වල බැක්ටීරියා ඇත. ඒවා අපට සතුරු නොවේ. එහෙත් වෙනත් කෙනෙකුගේ කනේ පවතින බැක්ටීරියා තවත් කෙනෙකුට සතුරුය. ඒ නිසා ආසාදන ඇති වීමට පුළුවන. යාළු මිතුරුකමට ඉයර්ෆෝන්, හෙඩ්ෆෝන් හුවමාරු කර ගනිමින් භාවිත කිරීමේදී බැක්ටීරියා ද හුවමාරු වේ. එයින් ආසාදනවලට මුල පිරේ.

චමිපිකා දීපානි රණසිංහ

උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
චන්ද්‍රා ජයසූරිය

Loading...