web counter
Loading...

උදෑසන මුළුතැන්ගෙට ඇතුල් වූ සැණින් ගෑස් ලිප දල්වන්න එපා

Loading...

විදුලි උපකරණ තරම්ම තවත් සැලකිලිමත් වියයුතු උපකරණයක් තමයි ඔබේ මුළුතැන්ගෙයි තිබෙන ගෑස් උඳුන. ගෑස් උඳුන ගැන කතා කරන විට ඊට සම්බන්ධවූ තවත් උපකරණ කීහිපයක් ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි.

උඳුනට ගෑස් සපයන සිලින්ඩරය ගැන ඔබේ සැලකිල්ල කෙබඳුද?

ඇත්තටම ගෑස් පිරවූ සිලින්ඩරය නිසි පරිදි ගබඩා කිරීම අත්‍යවශ්‍යයි. ගෑස් සිලින්ඩරය ගබඩා කර තැබීමේදී එය කිසිවිටෙක පහතට හරවා ඇලකොට හෝ බිම දිගා කොට නොතැබිය යුතුයි. එය සැමවිටම කෙළින් අතට සිටුවා තැබිය යුතුයි. එමෙන්ම එහා මෙහා කිරීමට පහසු තැනක නිදහස්ව ගබඩා කර තැබිය යුතුයි.

ඔබ මුළුතැන්ගෙට ගියවිට ගෑස් උඳුනෙන් ගෑස් සුවඳක් නික්මෙනවා නම් කිසිවිටක ලිප දල්වන්නට එපා. වහාම ඔබ උඳුන පාවිච්චි කිරීම නවතා දමන්න. එහි යම් දෝෂයක් සිදුවී ඇත්නම් එය නැවත යථා පරිදි සකස් කරගෙන මිස කිසිවිටක උඳුන නැවත පාවිච්චි කරන්නට එපා. අප අද කතා කරන්නේ ගෑස් උඳුන ගැන වුණත්, මුළුතැන්ගෙයි තවත් සැලකිලිමත් විය යුතු දේ තිබෙනවා. ඒ තමයි විදුලිය. එහි තිබෙන ස්වීච් හෝ වයර් ගැනත් නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න. ඒවායේ යම් කාන්දුවක් සිදුවනවාදැයි විමසිලිමත් වන්න.

විදුලියට සම්බන්ධ ස්වීච් හෝ වයර් තිබෙන තැන ගෑස් ලිප තැබීම සුදුසු නැහැ. හදිස්සියේවත් විදුලි කාන්දුවක් සිදුවුණොත් එමඟින් විශාල පිපුරුමක් පවා සිදුවිය හැකියි.

නිතිපතා ඉවුම් පිහුම් කටයුතුවලින් පසුව ගෑස් ලිප හොඳින් පිරිසිදු නොකළොත් තෙල් ඉඳුල් පැල්ලම් වැටී එය ඉතාමත් ඉක්මනින් දිරා යන්නට පුළුවන්. එවැන්නක් සිදුවූ විට ඔබට එය භාවිතයෙන් ඉවත් කර දැමීමට සිදුවෙනවා.

ගෑස් ලිප පරිහරණය කරන ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතු අතිශය වැදගත් කරුණක් වූ මේ කරුණ ගැනද ඔබේ අවධානය යොමු කරන්න.

එනම්, ඔබ උදෑසන අවදිව වහා මුළුතැන්ගෙට පැමිණෙන්නේ කොයිතරම් හදිසියකින්දැයි අප හොඳින්ම දන්නවා.

නමුත් උදෑසන මුළුතැන්ගෙට ඇතුළු වූ සැණින් කිසිවිටෙකත් එකවර ගෑස් ලිප දල්වන්නට එපා. ඔබ මුලින්ම කළ යුත්තේ මුළුතැන්ගෙයි දොර ජනෙල් ඇර දැමීමයි. එයින් විනාඩි පහක් හෝ දහයක් පමණ ගතවන තුරු ගෑස් ලිප පත්තු නොකිරීම ඉතාම සුදුසු පිළිවෙතයි. ඒ කාලය තුළ ඔබ ලිප හා ඒ අවටින් ගෑස් සුවඳක් නැගෙන්නේ දැයි පරීක්ෂා කරන්නටත් අමතක කරන්නට එපා. මෙය ඉතාම ආරක්ෂාකාරී පියවරක්. මෙවැනි ආරක්ෂාකාරී පියවර ගැනීමෙන්, සිදුවිය හැකි අවාසනාවන්ත අනතුරු රැසක් වළක්වා ගත හැකියි.

ජාතික රෝහලේ
පුහුණු කිරීමේ හෙද නිලධාරිනී
පුෂ්පා රම්‍යාණි සොයිසා

Loading...