web counter
Loading...

ආලය උඩු යටිකුරු කරන සිකුරු විවාහයට සිකුරු බලපාන හැටි මෙන්න

Loading...

ග්‍රහ ලොවේ දීප්තිමත්ම තරුව වූ සිකුරු ස්‌ත්‍රී කාරක ග්‍ර්‍රහයෙකු වශයෙන් සැළකෙන අතර අලංකාරය, ලිංගික ජීවිතය, ශුක්‍ර ධාතුව, විවාහ සතුට, සුවපහසුව, ආකර්ෂණය, ලාලිත්‍යය, ආදර සම්බන්ධතා, කාමාශාවන් ආදිය නිවේදනය කරයි. සිකුරු විශ්ව කේන්ද්‍රයේ 4 වැන්න නියෝජනය කරන බැවින් විවාහ කාරක ලෙස හැඳින්වෙයි.

විවාහ කාරකයාගේ පිහිටීමට සාපේක්‍ෂව විවාහය, ලිංගික ජීවිතය, විවාහ සතුට, අඹුසැමි සබඳතා විවාහයේ ස්‌වභාවය විමසා බැලිය හැක. ප්‍රේමය ආදරය මිනිසාට අත්‍යවශ්‍යය. එහෙත් අනිසි පෙම ඔරොත්තු දෙන්නේ නැත. මිනිස්‌ සිරුරෙහි සියුම් වූ ප්‍රබල වූ බලවේගය කාම ශක්‌තියයි. එයට සමාන ගින්නක්‌ තවත් නැත. නිසි ලෙස පාලනය කරගත නොහැකි වුවහොත් කෙළවර බියකරුය. ලිංගික ජීවිතයේ අභිලාෂයන් මුදුන්පත් කරන සිකුරු වරෙක විවාහ ජීවිතයට සතුටත්, වරෙක අසතුටත් ලබා දේ. මෙහිදී සිකුරු පුරුෂයන්ගේ විවාහ ජීවිතය හා ලිංගික ජීවිතය මෙන්ම ස්‌ත්‍රීන්ගේ චරිත ස්‌වභාවය සහ ගති ලක්‍ෂණ විවරණය කරයි.

ප්‍රේමය වුවමනා වන්නේ වයස්‌ සීමාවේ හැටියටයි. ඒ සඳහා දෛවයේ බලපෑම හඳහනින් විමසා බැලිය යුතුය. විවාහයේ සාර්ථක අසාර්ථක භාවයට සිකුරුගේ රාශි බලය වැදගත්කොට සැළකේ. සිකුරු ලග්න භාවයේ සිට ජන්මියාගේ විවාහය හා ආදර ජීවිතය කෙරෙහි ධනාත්මක බලපෑමක්‌ ඇති කරයි. මෙවන් පිහිටීමක්‌ ලැබූ ජන්මියා සිය සහකරුට හෝ සහකාරියට අවංකව ආදරය කරයි. අෙන්‍යාන්‍ය වශයෙන් සුහදතාව හා සෙනෙහස වර්ධනය කර ගනී.

සිකුරු දෙවැන්නේ සිටීම තුළින් කාන්තාවකට නම් යහපත් ස්‌වාමි පුරුෂයෙක්‌ද, පුරුෂයෙකුට නම් යහපත් භාර්යාවක්‌ද ලැබීමේ භාග්‍යය උදාවෙයි. එමෙන්ම සිකුරු 7 වැන්නේ පාපී ග්‍රහ සංයෝග සහ බලපෑම්වලින් තොරව ශුභ ග්‍රහයන්ගෙන් බලවත් වූ විට යහපත් විවාහයක්‌ සිදු වේ. විශේෂයෙන් 7 වැන්න වෘෂභ, තුලා, මීන, මිථුන ආදී සිකුරුට ඵලදායී රාශියක්‌ වීමෙන් විවාහය මෙන්ම සියලු කටයුතු සාර්ථක කරයි. එමෙන්ම 7 වැන්න වෘශ්චික, මකර ආදි රාශියක්‌ වී සිකුරු එහි දුර්වල ලෙස තැන්පත් වී නම් තමාට නොගැළපෙන පහත් චරිත ඇති ස්‌ත්‍රියකගේ ඇසුරට පත්විය හැක. මෙහිදී මෙම සිකුරු කුජගේ දෘෂ්ටියට ලක්‌ වුවහොත් පහත් ලිංගික චර්යාවන්ට නැඹුරු වීමේ ප්‍රවණතා ඇති කරයි.

ස්‌ත්‍රී කේන්ද්‍රයක සිකුරු ග්‍රහයා පාප පීඩිතව පිහිටා සිටී නම් ඇයට ලැබෙන්නේ පහත් ගති ඇති වුණ කම්මැලි වූත්, අදක්‌ෂ වූත්, නාස්‌තිකාර වූත් ස්‌වාමිපුරුෂයෙකි. කෙසේ හෝ තම අවශ්‍යතා සංසිඳුවා ගන්නා ඔහු තම කාලය සහ ධනය අන් ස්‌ත්‍රීන් වෙනුවෙන් වැය කරයි.

කිසියම් ජන්මියෙකුගේ කේන්ද්‍රයෙහි 7 වැන්නේ සිකුරු හුදකලාව සිටි පමණින් ඔහුගේ හෝ ඇයගේ විවාහ ජීවිතය සාර්ථක වන්නේ යෑයි සහතික කළ නොහැක. එමගින් එම ජන්මියා අනුරාගය අතින් හොඳ සබඳතාවක්‌ පවත්වා ගැනීමට සමත් වෙයි.

හත්වැන්නේ සිටින සිකුරුට අන්‍ය ග්‍රහයන්ගෙන් ලැබෙන දෘෂ්ටීන් පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සිකුරුගේ ක්‍රියා කලාපයම මොනයම් ආකාරයක වේදැයි තීරණය කළ යුතුය. හත්වැන්නේ සිටින සිකුරුට ලග්නාධිපතිගෙන් හා සඳුගෙන් ලැබෙන දෘෂ්ටිය ඉතාම යහපත් වේ. අන් ග්‍රහයන්ගේ පාප දෘෂ්ටි ලැබුවද ලග්නාධිපති හා සඳුගෙන් ශුභ දාෂ්ටි ලැබේ නම් විවාහ ජීවිතයේ දුෂ්කරතා අවම වේ.

කිසිදු ග්‍රහ දෘෂ්ටියකින් තොරව 7 වැන්නේ සිටින්නා වූ සිකුරු විවාහ ජීවිතයේ සැමියා හා බිරිඳ අතර ප්‍රේමණීය බැඳීමට බාධා පමුණුවයි. නැතිනම් දැඩි අනුරාගී හැඟීම් හකුලා දමයි. සිකුරුගේ බලය පවුල් ජීවිතයේ සමබරතාව පාලනය කරයි. මෙහිදී ග්‍රහයා විසින් ඇති කරනු ලබන කම්පනය හා එහි ක්‍රියාකාරිත්වය මත මෙම සමබරතාව ජන්මියා වෙත ලබාදෙයි. සමගි සම්පන්න හා අර්ථවත් විවාහ ජීවිතයක්‌ සිකුරුගේ බලපෑම මත ප්‍රීතිදායක බව අඹුසැමියන් දෙදෙනාගේ සංවේදී මානසික ස්‌වභාවය ගොඩනැඟෙනු ඇත.

සිකුරු පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිවලට ලක්‌වීම හා පාප සංයෝග වීමෙන් විවාහ ජීවිතයට අයහපත් බලපෑම් ඇති කරයි. විශේෂයෙන් විවාහය සහ පවුල් ජීවිතය නිවේදනය කරන දෙවැන්න සහ 7 වැනි භාවය අධිපතීන් දුර්වල වී සිකුරු සමඟ සංයෝගවීම ප්‍රේම සබඳතා බිඳ වැටීම සහ විවාහ අපේක්‍ෂාවන් බිඳ වැටීම යන කාරණාවලට මුහුණදීමට සිදු වේ. එමෙන්ම දෙවැන්න 7 වැන්න අධිපතීන් හෝ සිකුරු 6, 8, 12 අධිපතීන් සමඟ සම්බන්ධ වීමෙන් විවාහ ජීවිතයේ අවුල් වියවුල් හට ගැනීමට හේතු විය හැක.

හත්වැන්න සිකුරුගේ රාශියක්‌ වී කුජ එම රාශියේ ද ශනි 8 වැන්නේද නියෝජනය වුවහොත් සහකරු හෝ සහකාරිය යන දෙදෙනාගෙන් එක්‌ අයෙකුට බරපතළ හානි සිදුවිය හැක.

කුජ සිකුරු සංයෝග වූ විට චමත්කාරජනක ආදර සම්බන්ධතාවක්‌ ගොඩනැඟෙයි. මෙම සංයෝග තුළින් අධික කාමාශාවන් හා එබඳු හැඟීම්වලට ඇලී ගැලී සිටීමක්‌ දක්‌නට ඇත. රාහුගේ බලපෑමක්‌ද මේ සඳහා ඇති වුවහොත් ලිංගික වශයෙන් සදාචාර විරෝධී දෙයකට යොමුවිය හැක.

එමෙන්ම කුජ සිකුරු දෙදෙනාගේ දුර්වල නිවේදකත්වය ලිංගික ආශ්වාදය කෙරෙහි උදාසීනත්වයක්‌ පෙන්නුම් කරයි. විශේෂයෙන් සිකුරු කන්‍යා රාශියේ තැන්පත් වීමෙන් සියලු වින්දනාත්මක හැඟීම් යටපත්කොට ආධ්‍යාත්මයට නැඹුරු වීමේ ස්‌වභාවයක්‌ ඇති වේ.

මේ නිසා කුජ සිකුරු දෙදෙනා අතිශයින් බලවත් වීමත්, දුර්වල වීමත් විවාහ ජීවිතය කෙරෙහි අයහපත්ය. සිකුරු ශනි සංයෝගය හෝ එම ග්‍රහයන් දෙදෙනා අතර පවතින දෘෂ්ටිමය සම්බන්ධය ලිංගික ශක්‌තියේ දුර්වලතා ඇති කරන සාධකයක්‌ ලෙස පිළිගැනේ. මෙබඳු පිහිටීම් ඇති ජන්මීහු ස්‌වභාවික ලිංගික ආශ්වාදයට වඩා විකෘති මනසකින් යුතුව අස්‌වාභාවික තෘප්තියක්‌ ලබයි.

මේ අනුව යම් කේන්ද්‍රයක සිකුරු ශුභ භාවයක, ශුභ ආකාරයට තැන්පත්වීම, ශුභ ග්‍රහයන් සංයෝග වීම හෝ දෘෂ්ටිගත වීම පාපී ග්‍රහයන්ගේ බලපෑම්වලින් තොරවීම, 6, 8, 12 යන අශුභ භාවයන් තුළ නොසිටීම සහ 2, 7, 11 යන භාවයන්ට යහපත් ආකාරයෙන් සම්බන්ධවීම යන කාරණා තුළ සිකුරු නියෝජනය වේ නම් යහපත් විවාහ ජීවිතයකට හේතු වේ. වැඩිදුර විස්‌තර 077-1268646 අංකයෙන් නොමිලේ ලබාගත හැක.

Loading...