web counter
Loading...

අඹුසැමි ආරවුලට මුල නිවාස දෝෂයක්ද?

Loading...

චේතනා සහ සජීව අලුතින් තැනූ නිවහන තුළින් කාන්තාවකගේ මර විලාප හඬක් සහ බිලිඳකුගේ හැඩීමක් එක්වර ඇසෙන්නට විය. ඒ එම නිවැසියන්ට පැමිණි කිසියම් විපතක් අඟවන නාදයක් වූ බැවින් අසල්වැසි කිහිප දෙනෙක් වහ වහා එක් රොක්වූහ. එවිට ඒ සියලු දෙනාට දැකිය හැකි වූයේ නාසයෙන් කටින් ‍ලේ පෙරමින් සිටි චේතනාය. “චේතනා මොකද මේ වුණේ ?” එම පිරිස අතරේ සිටි කාන්තාවක් නොඉවසිලිමත්ව ඇසුවාය. “ඒක අපේ පෞද්ගලික ප්‍රශ්නයක්; ඒක ගැන අපි බලාගන්නම් කරුණාකරලා ඔයාලා යන්න” එවිට නිවසේ උඩුමහ‍ලේ සිට පැමිණි සජීව කීය. එවිට ඔහුගේ මුහුණද රතු පැහැ ගැන්වී තිබූ අතර දෑත පවා සට සට ගා වෙව්ලන අයුරු එහි පැමිණියවුන්ට දැකගත හැකිවිය.

“අපරාධයක් සිද්ද වෙනවා නම් ඒක ඉතින් පෞද්ගලික කාරණයක් වෙන්න බැහැ. අනික මේ පැත්තේ පදිංචි මිනිස්සු හැටියට අපරාධවලට ඉඩ දෙන්නත් අපිට බැහැ” එහි පැමිණ සිටි අයකු එම නිවසින් පිටවන අතරේ කීයේ සජීවට ද ඇසෙන පරිද්දෙනි. ඒ කෙසේ හෝ විවාහපත් වී වසර දෙකක් ගත වනවිට සිඟිති දියණියකගේ මාපියන් වීමේ වාසනාව ලද චේතනා සහ සජීව වසර දෙකකුත් මාස හයක් ඇවෑමෙන් අලුතින් තනවා ගත් නව නිවසක පදිංචිවීමට ද වාසනාවන්ත වූහ.

එහෙත්, නව නිවසට පැමිණ මාසයක් හමාරක් ගතවත්ම සජීවගේ හැසිරීම් රටාව කෙමෙන් වෙනස් වූ අතර ඉතා සුළු දෙයකින් පවා හෙතෙම කෝපාවිශ්ඨ විය. ඒ අනුව මුලදී එවන් අවස්ථාවල කෝපයෙන් දැවෙමින් නිවසේ බඩු බාහිරාදිය පවා ‍පොළොවේ ගසන්නට වූ ඔහු පසුව ච්ෙතනාට අතින් පයින් පහර දීමට තරම් සාහසික විය. මෙම යුවල නව නිවසකට එළැඹීමෙන් පසුව මුහුණ දුන් මේ තත්ත්වය බැලු බැල්මට බොහෝ දෙනකුට හඳුනාගත හැකි වූයේ එම නිවස කෙරෙහි බලපා කිසියම් දෝෂයක් නිසා හටගෙන තිබෙන්නක් ලෙසය. ඒ අනුව සජීවගේ දෙමාපියන් ඇතුලු පවු‍ලේ වැඩිහිටියෝ එම ගුප්ත දෝෂය සඳහා විවිධ ප්‍රතිකර්ම සොයන්නට වූහ. එහෙත් මෙම සිදුවීම් දාමය පිළිබඳව ඊට වඩා සියුම් ලෙස විමසුම් කළ චේතනාගේ ඥාතිවරයකු කියා සිටියේ මෙය සජීව තුළ පවත්නා කිසියම් මානසික අර්බුදයක් මත හටගත හැකි තත්ත්වයක් මිස වෙනයම් බාහිර බලපෑමක් නිසා ඇතිවන තත්ත්වයක් විය නොහැකි බවය. දෙපාර්ශවයේම එකඟත්වය අනුව සජීව මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරවන ලද්දේ ඉන්පසුවය. එහිදී ඔහු මනෝ වෛද්‍යවරයා හමුවේ කියා සිටියේ මෙවැනි කතාවකි.

“චේතනා මම පුංචි කා‍ලේ ඉඳලම දන්න අපිට තරමක් දුරින් නෑදෑවෙන කෙනෙක්. එයා අපේ පවුල්වල හැටි; මගේ හැටි මේ හැම දෙයක්ම හොඳට දන්නවා. අපි දෙන්නා කසාද බඳිනකම් අපි දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් අපි කසාද බැඳලා ටික කාලෙකින් චේතනා ටිකෙන් ටික වෙනස් වුණා. එයාගේ හිතේ මං ගැන අමුතුම සැකයක් ඇතිවුණා. ඒ මම වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකර ගනියි කියලා; චේතනා මේ විදිහට මං ගැන සැක කළේ කිසිම පදනමක් නැතුව මම වයස අවුරුදු දොළහක පහළොවක ගෑනු ළමයෙක් එක්ක කතා කළත් එයාට ඒ ගැන සැකයි. එයාගේ අක්කාගේ දුවගේ වයස අවුරුදු පහළොවක් විතර ඇති.

පහුගිය කා‍ලේ මම ඒ ළමයත් එක්ක වචන දහයක් කතා කළා කියලා චේතනා මාත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති කර ගත්තා. එයා කියනවා මං ඒ ළමයත් එක්ක කුටු කුටු ගානවලු. ඒත් මම එයාගෙන් ඇහුවා ඔයා මාව දන්නේ අපි පුංචි කා‍ලේ ඉඳලා නේද? ඒ කා‍ලේවත් මම නරක කෙනෙක් හැටියට ඔයාට මාව තේරිලා තියනවද? කියලා; ඒත් එතකොට එයා ඒක නෑහුණා වගේ ඉඳලා පස්සේ අර විදිහටම මාව සැක කරන්න පටන් ගත්තා.

දැන් හැමෝගෙම අතේ සෙලියුලර් ෆෝන් තියනවනේ; ඉතින් එහෙම තියනකොට ඒවට ෆෝන් කෝල්ස් එහෙමත් එනවනේ; නමුත් මට ඒ විදිහට කෝල් එකක් එනකොටත් චේතනා එක පාරටම ගැස්සිලා ඔය කවුද කතා කරන්නේ කියලා අහනවා. ඒකට උත්තර දීලා පිරිමහන්නත් බැහැ. එයා දිගින් දිගටම ඒ ප්‍රශ්නෙ අහනවා.

සජීව මනෝ වෛද්‍යවරයා හමුවේ කීය. ඉන්පසුව ඔහු තවදුරටත් කීයේ මෙවැන්නකි. කොහොම හරි මුලදී මේ තත්ත්වය අමාරුවෙන් දරාගෙන හිටියත් පහුවෙනකොට මගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගියා. නමුත් ඒ කා‍ලේ ච්ෙතනලාගේ ගෙදර එයාගේ ගෙදර කට්ටියත් එක්ක හිටපු හින්දා ඒ තත්ත්වය බාහොම අමාරුවෙන් දරාගෙන හිටියා. ඒ වගේම මම ලොකු ණයකුත් වෙලයි මේ ගේ හදාගන්නේ. ඒ ණය ගත්තට පස්සේ මගේ ආදායම්වල තරමක අඩුවීමක් වුණා. ඒ නිසා ඒ ණය ඉවර කර ගැනීම සම්බන්ධ ලොකු බරකුත් මගේ හිතේ තිබුණා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා ජීවිතයේ එන ප්‍රශ්නවලට එහෙම මුහුණ දිය යුතු වෙලාවක ච්ෙතනා මේ ලෝකේ නැති බහුබූත දොඩවලා මගේ හිත දවසින් දවස පාරන එක පහුවෙනකොට මට දරා ගන්න බැරි වුණා. ඒ හින්දයි මම එයාට ඔහොම ගහන්න පුරුදු වුණේ” සජීව මනෝ වෛද්‍යවරයා හමුවේ කීය. ඒ අනුව ඉන්පසුව චේතනාද මනෝ වෛද්‍යවරයා විසින් කැඳවනු ලදුව ඇගෙන් ද කරුණු විමසන ලදි. එහිදී ඇය පවසා සිටියේ තම සැමියාගේ චරිතය, පෞරුෂය, පවුල් සහ සමාජ තත්ත්වය කෙසේ වුවද විවාහයෙන් පසු ඔහු වෙනයම් සබඳතාවයක පැට‍ලේය යන බියමුසු සැකය නිරතුරුවම තම සිත තුළ පවතින බවකි. එහිදී එය මුල්කොට සිදු කරනු ලැබූ සායනික පරීක්ෂණවලදී චේතනා ව්‍යාථවේදී මාත්සර්යය (Pathological jealousy) නමින් හැඳින්වෙන මිථ්‍යාචාර මෝහය (desuion of infidelity) නම් මානසික රෝග තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය විය. එමෙන්ම නව නිවස තැනීම මුල්කොට සුවිසල් ණය මුදලක් ලබා ගැනීම සහ එය ගෙවා ගැනිමට ඇති අසීරුව මුල්කොට සජීවගේ ආතති මට්ටම ද ඉහළ නැංවී තිබූ අතර තත්ත්වය තුළ චේතනාගෙන් එල්ලවන මානසික පීඩනය හමුවේ සජීව ඇය හමුවේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බවද අනාවරණය විය.

අඹුසැමි ආරවුලට මුල නිවාස දෝෂයක්ද?
මුලදී නිවාස දෝෂයක් දෙවනුව සජීවගේ මානසික අර්බුදයක් ලෙස අර්ථකථනය වූ මෙම යුගදිවි අර්බුදයට නිසි විසඳුම් ලබා දීමට හැකි වූයේ පළමුව චේතනාවත් දෙවනුව සජීවටත් ඖෂධීය සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා දීමය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි

සටහන දමයන්ති ගමගේ

Loading...